නීති විරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටින් කැනඩාවට සංක්රමණය විමට උත්සහ කළ පුද්ගලයින් 19 දෙනෙකු හලාවත මෝය ප්රදේශයේ දී අද උදෑසන (09) නාවික හමුදා භාරයට ගෙන තිබේ.
මොවුන් පසුගිය පස්වැනිදා බෝට්ටු මගින් ගොස් ඇති අතර කාලගුණය අයහපත් වීම හේතුවෙන් මුහුද රළු වීම නිසා නැවතත් ගොඩබිමට පැමිණ රැදී සිට ඇත්තේ යළි යාමේ අදහසිනි.
නාවික හමුදාවට ලද තොරතුරකට අනුව හලාවත වෙරළ ප්රදේශය ආවරණය වන පරිදි සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමේදී හලාවත මෝය අසල සැකකටයුතු ලෙස නවතා තිබූ වෑන් රථයක් පරික්ෂා කර ඇත.
එහිදී නීති විරෝධී ලෙස මුහුදු මඟින් සංක්රමණය වීමට උත්සාහ කළ බවට සැක කෙරෙන පුද්ගලයන් 19 දෙනා සහ එම වෑන් රථය රියදුරු හා සහයක නාවික හමුදා භාරයට ගෙන ඇත.
නාවික හමුදා භාරයටගත් පිරිස අතර පිරිමි පුද්ගලයන් 16, එක් කාන්තාවක් , කුඩා පිරිමි දරුවන් 03 සහ ගැහැණු ළමයෙකු අයත් වේ
මෙම පුද්ගලයන් කිලිනොච්චි, යාපනය, වත්තල, මඩකළපුව, ත්රිකුණාමලය, පොළොන්නරුව, මීගමුව සහ කොච්චිකඩේ යන ප්රදේශයන්හි පදිංචි පුද්ගලයන් බවට හදුනා ගෙන තිබේ.






