තුෂාරී කළුබෝවිල –
අධික වර්ෂාවේ බලපෑම මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 13 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 60කට බලපා ඇති අතර පෞද්ගල මරණ 6ක් වාර්තා බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසන්නේ පවුල් 249 ක් පුද්ගලයන් 891 පීඩාවට පත්ව ඇති බවත් නිවාස 12 කට පූර්ණ හානි හා නිවාස 635 කට අර්ධ හානි සිදුවී ඇති බවත්ය.
එසේම තවත් පුද්ගලයෙක් 251 දෙනකු ආරක්ෂිත ස්ථාන 9 ක රඳවා ඇති බව ද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.
ගම්පහ මීරිගම මාර්ගය පස් කණ්ඩියක් කඩා වැටීමෙන් අවහිර වී ඇත. කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ, පුවක්පිටිය, පල්ලේගම, බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර, ඇල්ල, කොළඹ දිස්ත්‍රික්කෙ සීතාවක, පාදුක්ක, ගාල්ල දිස්ත්‍රික්කයේ නාගොඩ, නෙළුව, යක්කලමුල්ල, බද්දේගම, ඇල්පිටිය, මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවටකෝරලේ, උඩුනුවර, හාරිස්පත්තුව, යටිනුවර, දොළුව, ගඟ ඉහළ කෝරලේ, පහතහේවාහැට, උඩපළාත, පස්බාගේ කෝරළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල, අරණායක, බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, රඹුක්කන, රුවන්වැල්ල, දෙහිඕවිට, කලුතර දිස්ත්‍රික්කයේ හොරණ, ඉංගිරිය, අගලවත්ත, පාලින්දනුවර, මාතලේ දිස්ත්‍රික්කයේ රත්තොට, උකුවෙල, කුරුණෑගල දිස්ත්‍රික්කයේ මාවතගම, මල්ලව පිටිය, නාරම්මල, රත්නපුර දිස්ත්‍රික්කයේ කිරිඇල්ල, ඇලපාත, නිවිතිගල, කුරුවිට, අයගම, රත්නපුර, ඇහැලියගොඩ, කලවාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නාය යාම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත, එම ප්‍රදේශවල පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.
රාජාංගනය ජලාශයේ වාන් දොරටු 4ක්, දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4ක්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු 1ක්, කුකුලේගම ජලාශයේ වාන් දොරටු 2ක්, තබ්බෝව ජලාශයේ වාන් දොරටු 2ක්, පොල්ගොල්ල ජලාශයේ වාන් දොරටු 4ක්, කොත්මලේ ජලාශයේ වාන් දොරටු 3ක්, වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 4ක් විවෘත කර ඇත. මහවිලච්චිය හාතුරුවිල ජලාශය ද පිටාර ගලයි.
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළ යාමෙන් ගම්පහ දිස්ත්‍රික්කය අත්තනගල්ල, ගම්පහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම් කිහිපයක් ජලයෙන් යටවී ඇති අතර සුළු ගංවතුර තත්ත්වයක් ද කළු ගඟේ කලවැල්ලාව මිල්ල කන්ද ප්‍රදේශයේ සුළු ගංවතුර තත්ත්වයක් ද පවතින බවත්, අධික වැසි සමග ජල මට්ටම ඉහළ යමින් පවතින බවත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
කලුගඟ මිල්ලකන්ද ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම මීටර් 7.25ක් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව කලුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, බදුරලිය, පාලින්දනුවර, කලුතර, දොඩංගොඩ, හොරණ, මිල්ලනිය ප්‍රදේශවල පහත් බිම් යටවී ඇත.
මේ අතර කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ බෙංගාල බොක්ක ආශ්රිත ව පවතින පීඩන අවපාතය හේතුවෙන් තවදුරටත් වැසි සමග තද සුළං හා අකුණු අනතුරු ඇති වන බවයි.
මධ්‍ය කදුකරය, උතුරු මැද, උතුර, සබරගමුව, දකුණ, වයඹ හා බස්නාහිර පළාත්වල මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති වන බව ඔවුහූ පවසති.







