දෙමටගොඩ රුවන්ගේ පුතා එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී කොළඹ මහ නගරසභාවට ද, රුවන් කොළඹින් බස්නාහිර පළාත්සභාවට ද ආණ්ඩුව නියෝජනය කරන පක්ෂයකින් ඉදිරිපත් වීමට සූදානමින් සිට ඇතැයි බුද්ධි අංශ හෙළිකරගෙන තිබේ.
ඒ සම්බන්ධයෙන් සංවිධාන කටයුතු පවා සිදුවෙමින් තිබී ඇතැයි හෙළි වී තිබේ.
රුවන්ගේ පුතාට ගිනි අවියක් භාවිතා කිරීමට පවා පසුගිය කාලයේ දී දෙමටගොඩ පොලීසියෙන් නිර්දේශ නිකුත්කර තිබී ඇති බවටද තොරතුරු සඳහන්ය.
රුවන්ගේ අතීතය
දෙමටගොඩ රුවන් වර්ෂ 2019 වසරේ මුල විශේෂ කාර්ය බලකාය මගින් අත්අඩංගුවට ගත්තේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔහුව මෑතකදී අත්අඩංගුවට ගත් සුවිසල් නිවසේදීමය. පකිස්තානයේ සිට රුවන්ට මෙට්‍රික් ටොන් එකකට වඩා මත්කුඩු එව්වේ යැයි කියන පකිස්තානුවාවද එදා විශේෂ කාර්ය බලකාය විසින් එම නිවසේදී අත්අඩංගුවට ගෙන තිබේ.
අයිස් නැමැති මත්ද්‍රව්‍ය මෙන්ම ගිනි අවි ඇතුළු ආයුධ රැසක්ද මුදල් ලක්ෂ 30 ක්ද විශේෂ කාර්ය බලකාය විසින් එදා සොයා ගත්තේය. අනතුරුව වැඩිදුර විමර්ශන සදහා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයට ඔහුව භාර දුන්නේය.
එහිදී රුවන්ගේ පුතාත් දෙමටගොඩ චමින්දගේ පුතාත් බොරැල්ලේ ප්‍රසිද්ධ කුඩු ජාවාරම් කරියක්වන නිලූ නැමැත්තියගේ පුතාත් එම නිවසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඒ අයවත් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට භාරදී තිබුණි.
අපරාධ කොට්ඨාසයෙදීත් සැප
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සොයාගත් වාහනද එදා විශේෂ කාර්ය බලකාය සිය භාරයට ගත්තේය. ඒත් ඒවා නැවත ඔවුන්ටම නිදහස් කර තිබුණි. පුතාලා තිදෙනා සහ පකිස්තානුවාද නිදහස ලබන අතර රුවන්ව දින කිහිපයක් රඳවාගෙන පරීක්ෂණ පවත්වන ලදි. එහිදී පරීක්ෂණ කෙසේ වෙතත් රුවන්ට අපරාධ කොට්ඨාශය තුළදී සැප ලැබුණු බව නම් පොලීසිය තුළ ප්‍රසිද්ධ රහසකි.
එම කොට්ඨාසයේ අක්‍රියව තිබුණු ඒ.සී යන්ත්‍රයක් අලුත්වැඩියා වන්නේත්, සිර මැදිරිවල සිටින සිරකරුවන්ට දහඩිය දමන බැවින් රුපියල් 25000 ක් පමණ වටිනාකමක් ඇති විදුලි පංකා දෙකක් ලැබෙන්නේත් ඔය කාලයේදීය.
ඊට අමතරව ඒ දිනවල රාත්‍රී කාලයට එහි සේවයේ නිරතව සිටින නිලධාරීන්ට නම් කේ.එෆ්.සී සහ මැක්ඩොනල්ඩ් අවන්හල්වලින් ලැබෙන කෑම කා එපා වී තිබුණු බව ද ප්‍රසිද්ධය. අවසානයේදී එහි නිලධාරීන් කිහිප දෙනෙක් සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් විමර්ශනයක් පවා ආරම්භ වූයේ විශේෂ කාර්ය බලකායෙන් භාරදුන් රුවන්ගේ නිවසින් සොයාගත් රුපියල් ලක්ෂ 30 න් ලක්ෂ 05 ක් අතරුදන්වීමක් සම්බන්ධයෙනි.
හැබැයි පසුව රුවන්ගේම පිහිටෙන් අතුරුදන් වූ මුදල නැවතත් පියවුණු බව දන්නෝ දනිති.







