කතෝලික දේවස්ථානවල පාස්කු දේව මෙහෙයන්වලට සහභාගී වෙමින්ද, සුපිරි හෝටල්වල උදෑසන ආහාරය ගනිමින් ද සාමකාමීව ගතකරන මොහොතකදී 2019 වසරේ අප්‍රේල් 21 වැනිදා අද වැනි දිනෙක පාස්කු ඉරුදිනයේ මිලේච්ඡ අන්තවාදී ත්රස්තවාදීන් පිරිසක් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට අදට වසර දෙකක් සපිරේ.
ප්‍රහාරයෙන් මියගිය 269 දෙනා සිහි කර කිතුනු දේවස්ථානවල අද (21) විශේෂ ආගමික සහ සැමරුම් උත්සව පැවැත්වීමට කතෝලික සභාව කටයුතු කර ඇත.
ප්‍රහාරයෙන් විපතට පත්වූවන් අනුස්මරණය කරමින් උදෑසන 8.45ට දේවස්ථානවල සීනූ නාද කෙරෙන අතර ඉන් පසු මිනිත්තු 2ක නිෂ්ශබ්දතාවයක් පැවැත්වෙනු ඇත.
පාස්කු ප්‍රහාරයේ ඉලක්ක බවට පත්වූ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි යන දේවස්ථානවලදීත් අද විශේෂ ආගමික වැඩසටහන් කිහිපයක්ම පැවැත්වීමට නියමිතය.
කතෝලික සභාව පවසන්නේ, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ විශේෂ ප්‍රකාශයක්ද මෙරට සිටින වතිකානු තානාපති රදගුරුතුමා විසින් ඉදිරිපත් කිරීමට නියමිත බවය.
එම සැමරුම් උත්සව පැවැත්වෙන කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉදිරිපිට මාර්ගවල අද මධ්‍යහ්න 12 දක්වා විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වේ
පොලිසිය පවසන්නේ සෙසු කතෝලික දේවස්ථානවලටද විශේෂ ආරක්ෂාවක් සපයා ඇති බවය.
සියලුම කතෝලික පාසල්වලට අද දින නිවාඩු ලබාදී තිබේ.







