සේනා දළඹු උවදුර සාර්ථකව පාලනය කළ හැකි දියර මිශ්‍රනයක් සකස් කිරීමට මහනුවර දිගන ප්‍රදේශයේ පදිංචි ධම්මික වත්තේවැව සමත්ව ඇතැයි වාර්තා වේ.
එම මිශ්‍රනය යෙදීමෙන් සේනා දළඹු උවදුර 95% කින් මර්දනය වන බව කෘෂිකර්ම දෙපාර්තුමේන්තුව මගින්ද ක්ෂේත්‍ර පරීක්ෂණ ඔස්සේ තහවුරුකර ඇත.
ලුණු කුඩු, මිරිස් කුඩු හා රෙදි සෝදන කුඩු ග්‍රෑම් 03 බැගින් ගෙන වතුර ලීටරයක දියකර ගැනීමෙන් පසු එයට කොහොඹ තෙල් මිලි ලීටර 03 ක් එක්කර සාදා ගන්නා මිශ්‍රනය වගාවන්ට ඉසීමෙන් සේනා දළඹුව විනාශ වන බවත් හොඳ ප්‍රතිඵල සඳහා කරල් පීදී දළඹුවන් ඒවා තුළට ඇතුළු වීමට පෙර යෙදිය යුතු බවත් ඔහු පවසයි.

මේ අකාරයෙන් ලුණු කුඩු, මිරිස් කුඩු හා රෙදි සෝදන කුඩු කිලෝ ග්‍රෑම් තුන බැගින් ගෙන වතුර ලීටර 1000 ක දියකර ගැනීමෙන් අනතුරුව එයට කොහොඹ තෙල් ලීටර තුනක් කලවම් කර සාදා ගන්නා මිශ්‍රනය අක්කර 06 ක වගාවකට ප්‍රමාණවත් බවත් මේ සඳහා වැය වන්නේ රුපියල් 6200.00 ක පමණ මුදලක් පමණක් බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මෙම මිශ්‍රනය යෙදූ පසු විනාශ වන සේනා දළඹුවා යළිත් වසරක පමණ කාලයක් යනතුරු වගාවට නොපැමිණෙන බවද ඔහු පවසයි.
කෘෂිකර්ම දෙපාර්තුමේන්තුවේ මහඉළුප්පල්ලම ගොවි පර්යේෂණ මධ්‍යස්ථානයේදී සිදුකළ පරීක්ෂණවලින් පසු මෙම දියරය යොදා ගනිමින් පුලියන්කුලම ප්‍රදේශයේ ක්ෂේත්‍ර පරීක්ෂණ සිදුකළ බවත් මෙම මිශ්‍රනය මගින් සේනා දළඹුවන් මර්දනය වන බව එමඟින් තහවුරු වූ බවත් ධම්මික වත්තේවැව කීය.
මෙම මිශ්‍රනය ඉසීමත් සමඟ සේනා දළඹුවාගේ ක්‍රියාකාරීත්වය අඩපණවී දින දෙකක් තුළ මරණයට පත්වන බවද හෙතෙම පැවසුවේය.
අක්බාර් ආයතනයට අනුබද්ධිත ග්‍රීන් සෑන්ඩ් ආයතනයේ අධ්යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු මෙන්ම ප්‍රධාන විධායක නිලධාරිවරයාද වන ධම්මික වත්තේවැව 2018 වසරේදී ඔවුන්ගේ අස්පරගස් වගාවකට සේනා දළඹුවා පැමිණීමෙන් පසු මාස තුනක පමණ කාලයක් තිස්සේ සිදු කරන ලද විවිධ අත්හදා බැලීම් ඔස්සේ අදාළ දියර මිශ්‍රනය සොයා ගෙන තිබේ.
මෙම දියර මිශ්‍රනය ඉසීමෙන් සේනා දළඹු හානිය 95% ක් පමණම මර්දනය වන අතර ඉන් ශාඛයට කිසිදු හානියක් නොවන බව පර්යේෂණ මගින් තහවුරුව තිබෙන බව කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් වීරකෝන් ලිඛිතව ධම්මික වත්තේවැවට දැනුම් දී ඇත.







