ලලිත් චාමින්ද
ජනාධිපති ලේකම් කාර්යාලය නමින් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහන 26ක භෞතික පැවැත්ම තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇතැයි ජාතික විගණන කාර්යාලය පවසයි.
විගණන වාර්තාවට අනුව, මෙම වාහන අතුරුදහන් වීම හෝ ඒවා කිසියම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට භාරදුන් බවට සනාථ කිරීමට හැකි කිසිදු ලිඛිත සාක්ෂියක් විගණනය සඳහා ඉදිරිපත් කර නොතිබුණි.
මෙම වාහන 26 හි භෞතික පැවැත්ම තහවුරු කර ගැනීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් විමර්ශන සිදු කරමින් පවතින බව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් 2025 වර්ෂයේ මැයි මස 28 වැනි දින විගණනය වෙත දන්වා තිබූ බව ද එම වාර්තාවේ සඳහන් වේ.
කෙසේ වුවද, මෙම වර්ෂයේ (2026) මාර්තු මස 19 වැනි දින වන විටත් එම වාහනවල භෞතික පැවැත්ම තහවුරු කර ගැනීමට සමත්ව නොමැති බව විගණන වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.
ජනාධිපති ලේකම් කාර්යාලය සම්බන්ධයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති වාර්ෂික කාර්ය සාධන වාර්තාවට මෙම විගණන වාර්තාව ඇතුළත් කර තිබුණි.









