මෙරට වී වගා ඉතිහාසයේ සාර්ථක අස්වැන්නක් වාර්තා කර ඇති 2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස රජය උපදෙස් දී තිබේ. ඒ අනුව ලබන ජූලි 15 වැනිදා සිට දිවයින පුරා වී මිලදී ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට වී අලෙවි මණ්ඩලය සියලු කටයුතු සූදානම් කර ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (07) පස්වරුවේ පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මෙම උපදෙස් ලබා දී තිබේ. නව වී මිලදී ගැනීම සඳහා දැනට වී තොග පවතින ගබඩා හිස් කිරීමට සතොස ආයතනය සමඟ එක්ව කටයුතු කරන ලෙස ද ඔහු නිලධාරීන්ට දැනුම් දී ඇත.
මෙවර යල කන්නයේදී හෙක්ටයාර් 475,000ක පමණ කුඹුරු ඉඩම් වගා කර ඇති අතර, කිසිදු කාලගුණික විපර්යාසයක් බලපා නොමැති බැවින් ඉතා සාර්ථක වී අස්වැන්නක් ලැබී තිබේ. 2026 යල කන්නයේ වී මිලදී ගැනීම වෙනුවෙන් රජයේ භාණ්ඩාගාරයෙන් රුපියල් බිලියන 6ක් වෙන් කර ඇති අතර, කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සඳහා රජයේ බැංකු මඟින් තවත් රුපියල් බිලියන 10ක ඔඩපන ණය මුදලක් වෙන් කර ඇත.
මෙහිදී අදහස් දැක්වූ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී. පී. වික්‍රමසිංහ පෙන්වා දුන්නේ, පසුගිය වසර එකහමාරක කාලය තුළ ලැබූ ඉහළ අස්වැන්න හේතුවෙන් මෙවර වී මෝල් හිමියන්ගෙන් ඉල්ලා සිටීමට සිදුව ඇත්තේ වී මිල අඩු නොකරන ලෙස බවය.
වී අලෙවි මණ්ඩලය සතු ගබඩාවල දැනට වී මෙට්‍රික්ටොන් 120,000ක් පමණ පවතින අතර, ඉන් මෙට්‍රික්ටොන් 60,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට ටෙන්ඩර් කැඳවා තිබේ. තවත් මෙට්‍රික්ටොන් 20,000ක් සතොස වෙත නිකුත් කිරීමට පියවර ගෙන ඇත. ඉදිරි අවශ්‍යතාව මත සමූපාකාර, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සහ පෞද්ගලික අංශයේ ගබඩා කුලී පදනම මත ලබා ගැනීමට ද මෙහිදී තීරණය විය.
මෙම සාකච්ඡාව සඳහා ජනාධිපති ජ්‍යේෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, වෙළෙඳ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඒ. විමලේන්තිරාජා, මූල්‍ය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් පී.එම්.කේ. හෙට්ටිආරච්චි, වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ අන්තර්ජාලය ඔස්සේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල්වරයා මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන් ද සම්බන්ධ වූහ.







