උපේක්ෂා උඩුවැරැල්ල –
2026 අයිසීසී කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ බලාපොරොත්තු අද සම්පූර්ණයෙන්ම බිඳ වැටුනේය. ශ්‍රි ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට ප්‍රවේශ වීම සඳහා කොන්දේසි දෙකක් සැපිරිය යුතුව තිබිණි. එක් කොන්දේසියක් එංගලන්තය විසින් නවසීලන්තය පරාජයට පත් කිරීමය. එය සිදුවීමේ සම්භාවිතාවක් තිබුණු අවස්ථාවකි.
දෙවැන්න අයර්ලන්තය විසින් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අන්ත පරාජයකට පත් කිරීමය. සිදුවීමේ සම්භාවිතාව අඩුවම තිබුණේ මේ අවස්ථාවය.
අපේක්ෂා කළ ලෙස අද මීට ටික වෙලාවකට පෙර බ්‍රිස්ටල් ප්‍රාන්ත ක්‍රීඩාංගනයේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම පරදවමින් අයර්ලන්ත කාන්තා කණ්ඩායම ඓතිහාසිකි ජයග්‍රහණයක් වාර්තා කළේය. ඔවුහු කඩුළු 06ක විශිෂ්ඨ ජයග්‍රහණයක් ලැබූහ. එහෙත් ඒ පරාජය ශ්‍රී ලංකාවේ අවසන් පූර්ව වටයට ප්‍රවේශය සඳහා ප්‍රමාණවත් වූයේ නැත. දල ලකුණු ලබා ගැනීමේ වේගය අපේක්ෂිත මට්ටමට නොමැති ශ්‍රි ලංකා කණ්ඩායම අද තරගයෙන් පසු මේ තරගාවලියෙන් නිල වශයෙන් ඉවත් වුයේය.
අයර්ලන්තයේ ඓතිහාසික ජයග්‍රහණය
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 128ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 18.1කදී කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 129ක් ලබා ගනිමින් ඉලක්කය පසුකර ගියේය.
මෙය අයර්ලන්ත කාන්තා ක්‍රිකට් ඉතිහාසයේ විස්සයි20 ලෝක කුසලාන තරගාවලියකදී ලැබූ ප්‍රථම ජයග්‍රහණය ලෙස වාර්තා පොත් අතරට එක් විය. තරගයේ වීරයා සම්මානය දිනාගත්තේ අයර්ලන්ත කණ්ඩායමේ ඔර්ලා ප්‍රෙන්ඩර්ගාස්ට් (Orla Prendergast) ය.
ප්‍රසාද ලකුණු මට්ටම්
මෙම තරගය ආරම්භ වන විට ප්‍රසාද ලකුණු සටහනේ කොදෙව් කණ්ඩායම දෙවැනි ස්ථානයේත්, ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයේත් පසුවිය. ලබා ගෙන තිබුණු ලකුණු සංඛ්‍යාව සමාන වුව ද දල ලකුණු වේගය අනුව ශ්‍රී ලංකා කණ්ඩායම සිටියේ කොදෙව් කණ්ඩායමට වඩා බොහෝ පහළිනි.
කොදෙව්වන් අභිබවා ශ්‍රී ලංකාවට පෙරමුණ ගැනීමට නම්, අයර්ලන්තය විසින් මෙම තරගයේදී කොදෙව්වන් ලබාදුන් ලකුණු 129ක ඉලක්කය පන්දුවාර 10.5ක් හෝ ඊට අඩු සංඛ්‍යාවකින් හඹා යා යුතුව තිබුණි.
කෙසේ වෙතත් අයර්ලන්ත ක්‍රීඩිකාවන් එම ඉලක්කය පසුකර ගියේ තරගයේ 19වැනි (18.1කදී) පන්දුවාරයේදීය. ඒ වන විට ඔවුන්ගේ කඩුලු 4ක් පමණක් බිඳ වැටී තිබුණි. එම තත්ත්වය ශ්‍රි ලංකා කණ්ඩායම කණ්ඩායමේ දැනට මුල් තැන සිටින එංගලන්තයට පමණක් දෙවැනි වන දෙවැනි ස්ථානයේ ස්ථානගත කිරීමට ප්‍රමාණවත් වුනේ නැත.
ශ්‍රී ලංකාව තරගාවලියේ දැක්වූ දක්ෂතා
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම මිශ්‍ර දක්ෂතා ප්‍රදර්ශනය කළේය. සහභාගී වූ තරග 5න් තරග 3ක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් විය:
- නවසීලන්තයට එරෙහිව: පන්දු 5ක් ඉතිරිව තිබියදී විශිෂ්ඨ ජයක්.
- බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පන්දු 5ක් ඉතිරිව තිබිය දි ලද තියුණු පරාජයක්.
- අයර්ලන්තයට එරෙහිව: පන්දු 9ක් ඉතිරිව තිබියදී ජයක්.
- ස්කොට්ලන්තයට එරෙහිව: අවසන් පන්දුවේදී තියුණු ජයක් (ස්කොට්ලන්තය 151/6, ශ්‍රී ලංකාව 154/7). නිලක්ෂිකා සිල්වාගේ විශිෂ්ඨ පන්දු රැකීම මෙම ජයග්‍රහණයට මග පෑදීය.
- එංගලන්තයට එරෙහිව පරාජය — ලකුණු 87කින් (එංගලන්තය 219/1 — ශ්‍රී ලංකා 132)
මේ තරගාවලය කැපී පෙනෙන දස්කම් ප්‍රකට වුව ද ශ්‍රී ලංකා කණ්ඩායමේ ගමන උස්සා පොළොවේ ගසන තැනට වැඩ කටයුතු යෙදුනේ එක් අවස්ථාවක දී ය. ඒ එංගලන්තයට එරෙහිව ලද බිහිසුණු පරාජය ය. එදා එංගලන්තය සමග ක්‍රීඩා කළේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම දැයි සිතන තරමට ක්‍රීඩාව සිල්ලර වී තිබුණේය. ලකුනු 87ක මහා දැවැන්ත පරාජය ශ්‍රි ලංකා කණ්ඩායම විනාශ කළේය. ලකුණු 219ක් එංගලන්ත කණ්ඩායම ඕවර 20 තුළ රැස් කරද්දී අපේ පන්දු යවන ඇත්තියන්ට දවා ගත හැකිව තිබුණේ එංගලන්තයේ එක් කඩුල්ලක් පමණි. 219ක් හඹා ගිය ශ්‍රි ලංකා ක්‍රිඩිකාවෝ ලකුණු 132කට සීමා වූහ.
මේ වනවිට ඒ ඛාණ්ඩයෙන් ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම තම ස්ථාන තහවුරු කරගෙන සිටින්නේය. ඔවුන් අවසන් පූර්ව වටයට අවස්ථාව වෙන් කරගෙනය.
ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන බී ඛාණ්ඩයේ ලෝක ශූර එංගලන්තය සිය ස්ථානය කලින්ම වෙන් කරගෙනය. ඉතිරි ස්ථානය මේ ලියන මොහොත වනවිටත් පැහැදිලි නැත. එම අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට හිමිවීමේ අවකාශයක් තිබේ.
මේ තරගාවලියේ දී කාන්තා කණ්ඩායම පෙන්වූ දක්ෂතා සම්බන්ධව ඇගයීමක් අප තුළ තිබේ. එහෙත් එම අවසානය අඩුම තරමින් අවසන් පූර්ව වටයකින්වත් අවසන් නොවේ නම් ඒවාට කියන්නට ඇත්තේ “අපරාද දක්ෂතා” කියාය.
අපතේ ගිය දක්ෂතා සහිත ශ්‍රී ලංකා කණ්ඩායම දැන් ආපසු හැරී එන්නේය. නිලක්ෂිකා හෝ චමරී ඊලඟ ලෝක කුසලානයකට ක්‍රීඩා කරනු ඇතැයි සිතීම උගහටය. ඔවුන් ක්‍රිකට් වලටම වයසට ගිහින් තිබෙන්නේය. එවැනි පසුබිමක අපට හිතුනේ රටට ලැබෙන හොඳම අවස්ථාව මෙම ලෝක කුසලානය වනු ඇති බවය.
එහෙත් දැන් ඒ සිහිනය සුන්ය.







