ජානක ලියනආරච්චි –
සංවිධානාත්මක අපරාධකරුවෙකුට වෙනත් පුද්ගලයෙකුගේ නමකින් ව්‍යාජ විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කර දීමට ආධාර අනුබල දීමේ බරපතළ චෝදනාව මත අත්අඩංගුවට ගත් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ලබන ජූනි 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය අද (27) නියෝග කළේය.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ (CCIB/CID) මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් ඊයේ (26) සවස මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබුණි. මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි නිලධාරියෙකි.
කරන්දෙණියේ රාජුගෙන් පෑදුණු සුලමුල
මෙම මහා පරිමාණ වංචාව කරළියට පැමිණෙන්නේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනු ලබන ‘කරන්දෙණියේ රාජු’ නමැති සංවිධානාත්මක අපරාධකරු සම්බන්ධයෙන් කෙරෙන දීර්ඝ විමර්ශන දාමයත් සමඟය. ප්‍රකට අපරාධකරුවකුවන ‘කරන්දෙණියේ සුද්දා’ගේ සහෝදරයාවන රාජු, පසුගියදා ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කිරීමෙන් පසු මෙරටට රැගෙන එනු ලැබීය.
ඔහු මෙරටින් පලා යාමට භාවිතා කළ ව්‍යාජ ගමන් බලපත්‍රය පිළිබඳව විමර්ශන නිලධාරීන් සිදුකළ සූක්ෂ්ම සෝදිසි කිරීම්වලදී අනාවරණය වූයේ, 2023 වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කළ ඉහළ නිලධාරියෙකු විසින් මෙම ව්‍යාජ ලේඛනය සකස් කර දී ඇති බවයි.
ව්‍යාජ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමේ මෙම සෘජු දායකත්වය හඳුනාගන්නා විට, අදාළ සැකකරු මෙරට ඉහළම රාජ්‍ය ආයතනයක් වන ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් තනතුරක් හොබවමින් සිටීම විශේෂත්වයකි.
රාජ්‍ය ආරක්ෂාව සහ පත්වීම් ක්‍රියාවලිය
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කරමින්, විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලියේ තීරණාත්මක බලතල දැරූ මෙවැනි නිලධාරියෙකු, පාතාල අපරාධ ජාලයක සාමාජිකයෙකුට මෙරටින් පලා යාමට ව්‍යාජ ලේඛන සකසා දීම රාජ්‍ය යාන්ත්‍රණයේ විශ්වාසනීයත්වයට එල්ල වූ මරු පහරකි.
එමෙන්ම, මෙවැනි බරපතළ චෝදනා සහිත නිලධාරියෙකු ජනාධිපති ලේකම් කාර්යාලය වැනි රටේ අතිශය සංවේදී සහ ඉහළම විධායක ආයතනයක තනතුරක් සඳහා අනුයුක්ත කිරීමට පෙර රාජ්‍ය නිලධාරීන්ගේ පසුබිම් පරීක්ෂාවන් (Background checks) සහ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයන් නිසි පරිදි ක්‍රියාත්මක වී තිබේද යන්න පිළිබඳව මෙමඟින් ගැඹුරු සමාජ කතිකාවතක් නිර්මාණය කර ඇත.
විමර්ශන මෙහෙයවන කණ්ඩායම
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි. මෙම විශේෂ විමර්ශන කටයුතු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශ යන නිලධාරීන්ගේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.
නීතියේ රීතියට අනුව වැරදිකරු වන තෙක් ඕනෑම සැකකරුවෙකු නිර්දෝෂී පුද්ගලයෙකු ලෙස සැලකේ. අපරාධ විමර්ශන අංශ පවසන්නේ සිද්ධියට අදාළ වැඩිදුර සාක්ෂි රැස් කිරීම් තවදුරටත් සිදුකරන බවය.
මේ රාජ්‍යය වෙලාගෙන පැතිරී ගිය පාර රාජ්‍යයේ ගැඹුර දැන් අපව බියපත් කරන්නේය. රටේ අධිකරණ හා බන්ධනාගාර කටයුතු පිළිබඳ ඇමතිවරයාගේ පුතා රටේ දැනට පණ පිටින් සිටින ප්‍රධාන අපරාධකරු නොමරා සිටීමටත්, ඔහුට පහසුකම් සැලසීමටත් කෝටි 20ක කප්පමකට ඩීල් කර ඉන් කෝටි 12ක් ලබාගෙන මේ වනවිට බන්ධනාගාරගතව ඉන්නේය.
මේ කෝටි 12ක ඇඩ්වාන්ස් එක ගැනීම සඳහා එම අපරාධකරුගේ බිරිය හමුවීමට පුතා ඩුබායි රාජ්‍යයට යන ගමනට අධිකරණ ඇමතියාත් එක් වූ බවට අධිකරණයේ දී කරුණු වාර්තා වී ඇති ආකාරය මාධ්‍ය හෙළි කරන්නේය.
දැන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයා ඉතිහාසයේ බිහි වූ නින්දිතම පාදඩ අපරාධකරු ලෙස අපරාධ ලෝකය ද හඳුන්වන කරන්දෙණිය සුද්දා නැමැත්තාගේ අපරාධ හවුල්කාර මෙන්ම ඔහුගේ සොයුරා වූ කරන්දෙණිය රාජු නැමිති තුච්ච මිනී මරුවාට රටින් පැන ගැනීමට හොර පාස්පෝට් හදන්නේය. ඔහු ඒ පාදඩ වැඩේ කරන්නේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කරමින් සිටිය දීය.
අප අපේ දරුවන්ට උරුම කර දී ඇත්තේ මේ තරම් ආතල් රටකි.
මගේ ආදරණීය මිත්‍රයන්ට ආරාධනාවක් තිබේ. ඉතින් පෝලිමේ ඇවිත් මේ අධිකරණ ක්‍රියාවලියට මඩුවලිගයෙන් තලන්න.









