රටේ සියලුම ක්ෂේත්‍රවල පුරප්පාඩු පවතින්නා සේම අධිකරණ ක්ෂේත්‍රයේ ද පුරප්පාඩු පවතින බවත්, එම පවතින පුරප්පාඩු පූරණය කරමින් පවතින්නේ නිශ්චිත ක්‍රමවේදයක් තුළ බැවින් ඒ පිළිබඳව කලබල නොවන ලෙසත් රජය විපක්ෂයට දන්වා සිටී.
කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මේ බව ප්‍රකාශ කළේ අද (23) පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේ, විධායක ජනාධිපතිවරයා ඇතුළු ආණ්ඩුව අධිකරණයට සහ එහි පවතින නඩු කටයුතුවලට ඇඟිලි ගසන බව කියමින් ඒ පිළිබඳව විවාදයක් ඉල්ලා සිටි විපක්ෂයට එම විවාදය ලබා නොදීම හේතුවෙන් පාර්ලිමේන්තුව තුළ අර්බුදයක් ඇතිවන්නට හැරියේ කුමක් නිසාද යන්නයි.
එම ප්‍රශ්නයට සවිස්තරාත්මකව පිළිතුරු දුන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා, විපක්ෂයේ මේ කලබලය පුරප්පාඩු පිළිබඳ ඇතිවූවක් නොව, නඩු කටයුතු නිසි ලෙස සිදුවෙමින් නඩු තීන්දු ප්‍රකාශවීමට පටන් ගෙන ජනතාව අධිකරණය කෙරෙහි විශ්වාසය ගොඩනගා ගැනීමෙන් පසු ඇති වූ වියරුවක් බව පෙන්වා දුන්නේය.
එහිදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය.
“රාජ්‍ය සේවයේ ආරක්ෂක අංශ, පොලිසිය, අධිකරණ සේවාව සහ විශ්වවිද්‍යාල ඇතුළු හැම ක්ෂේත්‍රයකම වගේ මේ වනවිට පුරප්පාඩු පවතිනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ හෝ අධිකරණයේ විතරක් පුරප්පාඩු පුරවන්නේ නැතිව ඉඳලා අනෙක් ඔක්කොම ක්ෂේත්‍රවල පුරප්පාඩු පුරවලා නෙමෙයි තියෙන්නේ. ඒ හැම ක්ෂේත්‍රයකම පවතින පුරප්පාඩු අපි ක්‍රමානුකූලව පුරවාගෙන යනවා. උදාහරණයක් විදිහට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබ්බ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තනතුරු නවයක පුරප්පාඩු පිරෙව්වේ ගිය සතියේ. එතෙක් කාලයක් ඒ පුරප්පාඩු තියාගෙනත් සෞඛ්‍ය අමාත්‍යාංශය දිව්වා. ඒ නිසා රටේ පුරප්පාඩු තියනවා, ඒවා ක්‍රමානුකූලව පුරවනවා.”
විපක්ෂය නඟන චෝදනා සහ පවතින සැබෑ තත්ත්වය අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විපක්ෂයේ සැබෑ නොසන්සුන්තාවයට හේතුව ද මෙසේ පැහැදිලි කළේය.
“ඔය විපක්ෂය කියන කතාවයි, මේ පවතින තත්ත්වයයි අතර කිසිම සම්බන්ධයක් නෑ. වර්තමානයේ අධිකරණ පද්ධතිය විසින් ස්වාධීනව නඩු තීන්දු ලබාදෙමින් පවතිනවා. විපක්ෂයේ වැඩි කලබලය තියෙන්නේ පුරප්පාඩු නොපිරවීම ගැන නෙමෙයි. යටින් තිබෙන සැබෑ කලබලය තමයි දැන් දිනපතා නඩු ඇහෙනවා, නඩුවල තීන්දු ලබා දෙනවා, නැතිනම් නඩු දින ප්‍රකාශයට පත් වෙලා තියනවා. මේ ලැබෙන ස්වාධීන තීන්දුවලින් ජනතාවට අධිකරණය සම්බන්ධව විශාල විශ්වාසයක් නැවත ගොඩනැගෙමින් පවතිනවා. අන්න ඒ ක්‍රියාවලිය නිසයි මේ අය කලබලයක් ඇති කරන්නේ. ඒ කලබලය වසාගන්න ඔවුන් පාර්ලිමේන්තුව සහ මාධ්‍ය සාකච්ඡා උපයෝගී කරගන්නා බව පැහැදිලිවම පේනවා. මේක තමයි ඇත්ත කතාව.”
අධිකරණයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ යම් පුරප්පාඩු ප්‍රමාණයක් පවතිද්දිත්, රටේ ජනතාවගේ විශ්වාසය යළි ඇතිවන පරිදි එම ආයතන සිදුකරන සේවාව සම්බන්ධයෙන් රජය වෙනුවෙන් ස්තුතිය පිරිනමන බව ද කැබිනට් ප්‍රකාශකවරයා මෙහිදී සඳහන් කළේය.
රාජ්‍ය සේවයේ නිලධාරීන් විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාවන් සම්බන්ධයෙන් පවතින තත්ත්වය ද පැහැදිලි කළ අමාත්‍යවරයා, 2020 – 2024 කාලය තුළ රාජ්‍ය සේවයේ අත්දැකීම් බහුල නිලධාරීන් විශාල ප්‍රමාණයක් විදෙස්ගත වීම නිසා ඔවුන්ගේ සේවය රටට අහිමි වී ඇති බව පෙන්වා දුන්නේය. මිනිසුන්ගේ ජීවත්වීමේ සාපේක්ෂ ආයු කාලය ද වැඩි වී ඇති පසුබිමක, විවිධ ක්ෂේත්‍රවලින් විශ්‍රාම වයස දීර්ඝ කරන ලෙස ඉල්ලීම් ලැබෙමින් පවතින බව ඔහු කීවේය.
විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයෙන් එම ඉල්ලීම් පැමිණි බවත්, ඒ අනුව වයස අවුරුදු 60ක්ව තිබූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව අවුරුදු 63 දක්වා වැඩි කළ බවත් සිහිපත් කළේය. මේ වනවිට සමහර විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් එය අවුරුදු 65 දක්වා වැඩි කර දිය හැකිදැයි ඉල්ලීම් ලැබී තිබුණ ද, රජය ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීන්දුවක් ගෙන නොමැති බවත්, ඇතැම් පාර්ශව මෙම වයස් සීමාවන් වැඩි කිරීමට පක්ෂව මෙන්ම තවත් සමහරුන් ඊට විපක්ෂව අදහස් දක්වන බැවින් මේවා තවමත් පවතින්නේ යෝජනා සහ ඉල්ලීම් මට්ටමින් පමණක් බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් අවධාරණය කළේය.







