සූරියවැව නුවන් ජයසේකර –
අධි බලැති යතුරුපැදි 21ක් මෙරටට ගෙන්වීම, සන්තකයේ තබා ගැනීම සහ ඒවා එකලස් කිරීම ඇතුළු චෝදනා යටතේ පවරා තිබූ නඩුවකට අදාළව සැකකරුවන් ලෙස නම් කර සිටි කුරුළු උයනේ හිමිකරු ඇතුළු තිදෙනෙකු නිදොස් කොට නිදහස් කිරීමට හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ තීන්දු කළේය.
මෙලෙස අධිකරණය හමුවේ නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස නම් කර සිටි කුරුළු උයනේ හිමිකරු, එහි ගබඩා පාලකවරයා සහ තවත් සේවකයෙකු වේ.
අදාළ පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කර සිටියේ මෙම පැමිණිල්ල තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට බලාපොරොත්තු නොවන බවයි. විමර්ශන අංශ විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගනු ලැබූ එම තීරණය අධිකරණය හමුවේ නිල වශයෙන් සැලකර සිටීමෙන් පසුව, දෙපාර්ශවයේම කරුණු සලකා බැලූ හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් සියලු දෙනා නිදහස් කිරීමට මෙම නියෝගය නිකුත් කරනු ලැබීය.
මෙම නඩු විභාගයේදී සැකකරුවන් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥ චමින්ද සූරියපටබැඳි ඇතුළු නීතීඥ මණ්ඩලයක් පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරන ලදී.







