ශ්‍රී ලංකාවේ නිල රාජ්‍ය සංචාරයක නිරත වූ මාලදිවයින් ජනාධිපති ආචාර්ය මොහොමඩ් මුයිසු ඇතුළු දූත පිරිස සිය සංචාරය සාර්ථකව නිම කරමින් අද (06) පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් දිවයිනෙන් පිටත්ව ගියහ.

මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගනිමින් මෙම සංචාරය සංවිධානය කර තිබුණි. දෙරටේම ජනතාවට ආර්ථික හා සමාජීය වශයෙන් ප්රතිලාභ රැසක් උදා කර දීම වෙනුවෙන් වූ එකඟතා රැසකට එළැඹීමට මෙම සංචාරයේදී අවස්ථාව සැලසුණු බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
ආචාර්ය මොහොමඩ් මුයිසු මාලදිවයින් ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සංචාරයක නිරත වූ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ක්ෂේත්‍ර කිහිපයක සහයෝගිතා ගිවිසුම්වලට එළැඹෙමින් මෙම සංචාරය සාර්ථකව සනිටුහන් කිරීමට දෙරටේ නායකයෝ සමත් වූහ.
දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපතිවරයා, ජනාධිපති ආර්යාව ඇතුළු දූත පිරිසට සමු දීම වෙනුවෙන් විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඔෂානි උමංගා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.







