අසේල කුරුළුවංශ –
මහනුවර ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු කටුගස්තොට රණවන ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී හෙරෝයින් මිලි ග්‍රෑම් 11,130 ක්, අයිස් මිලි ග්‍රෑම් 5,040 ක් සහ මත් කරල් 150 ක් පොලිසිය භාරයට ගෙන ඇත.
මොහු කුලී පදනම මත ලබාගත් සුඛෝපභෝගී වාහන උපයෝගී කර ගනිමින් මෙම ජාවාරම මෙහෙයවා ඇති බව හෙළිව තිබේ. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සන්තකයේ තිබූ වෑන් රථයක්, ජංගම දුරකතන 4 ක් සහ ඩිජිටල් තරාදියක්ද පොලිස් භාරයට ගැනුණි.
31 හැවිරිදි දෙදරු පියෙකු වන මෙම සැකකරු කටුගස්තොට රණවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු කොළඹ ප්‍රදේශයේ සිට ඉතා සූක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට බෙදාහැර ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
කටුගස්තොට පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. සී රාජපක්ෂගේ අධීක්ෂණය හා උපදෙස් මත, දූෂණ මර්දන අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කුඹුරේගම, උප පොලිස් පරීක්ෂක විජේසිංහ, පොලිස් සැරයන් ලක්මාල් (8717), කාන්තා පොලිස් සැරයන් සමන්ති (2050) සහ පොලිස් කොස්තාපල් වටදෙණිය (81271) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.







