දිනසේන රතුගමගේ –
පේදුරුතුඩුව නගර සභාවේ සභාපති සහ උපසභාපතිට එරෙහිව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා විසින් ආරම්භ කර තිබූ විමර්ශන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට යාපනය මහාධිකරණය නියෝග කර තිබේ. යාපනය මහාධිකරණ විනිසුරු එස්. ඇලෙක්ස් රාජා විසින් පසුගිය 27 වනදා මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ අදාළ විමර්ශනයට එරෙහිව ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.
පේදුරුතුඩුව එළවළු වෙළෙඳසැල වෙනත් ස්ථානයකට රැගෙන යාමට එරෙහිව නගර සභාවේ සභිකයන් දෙදෙනෙකු කළ පැමිණිල්ලක් මත පදනම්ව, සභාපති සහ උපසභාපති සිදුකළ බව කියන වංචා සෙවීමට ආණ්ඩුකාරවරයා විසින් දෙදෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබුණි.
කෙසේ වෙතත්, පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කුමාරවඩිවේල් ගුරුපරන් අධිකරණය හමුවේ තර්ක කළේ සභාපති සහ උපසභාපතිවරයා සිදුකර ඇති සියලු කටයුතු නීත්‍යානුකූල බවත්, දේශපාලන බල අරගලයක් හේතුවෙන් ආණ්ඩුකාරවරයා වෙත ව්‍යාජ පැමිණිලි ඉදිරිපත් කර ඇති බවත්ය. එම කරුණු සලකා බැලූ විනිසුරුවරයා, අදාළ නඩුව අවසන් වන තෙක් ආණ්ඩුකාරවරයා පත්කළ කමිටුවේ බලය අත්හිටුවීමට තීරණය කළේය. මෙම නඩුව ලබන ජූනි මස 16 වනදා නැවත කැඳවීමට නියමිතය.







