දිනසේන රතුගමගේ –
-
“චෙම්මිනි අපරාධය” ගැනත් මේ සමග කියවමු… ම්ලේච්ඡත්වය පිළිබඳ ජාතියකට නැගෙන චෝදනාවලින් ගැලවිය හැකි එකම ප්‍රවේශය සාධාරණ නෛතික ප්රවේශයකින් ලැබෙන අවසන් විසඳුම පමණයි…
යාපනයේ චෙම්ම්මනි සමූහ මිනී වලේ කැණීම් කටයුතු යළිත් මේ මස 27 වෙනිදා සිට ආරම්භ කිරීමට යාපනය මහේස්ත්‍රාත් එස්. ලෙනින් කුමාර් ඊයේ ( 22 ) අවසර ලබා දුන්නේය.
ඒ චෙම්මනි සමූහ මිනී වළ සම්බන්ධයෙන් යාපනය අධිකරණයේ විභාගවන නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේ දී ය.
මින් පෙර අදියරයන් දෙකක් යටතේ මෙම සමූහ මිනී වලේ කැණීම් කටයුතු සිදු කෙරුණු අතර මුදල් ප්‍රතිපාදනවල ප්‍රමාදයක් හේතුවෙන් තුන් වන අදියරයේ කැණීම් කටයුතු කාලයක් තිස්සේම ප්‍රමාද වී තිබුණි.
නඩුව යළි විභාගයට ගත් අවස්ථාවේදී ඒ සදහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලැබී ඇති බව අදාල අංශ විසින් ඊයේ ( 22) අධිකරණයට දැණුම් දීමෙන් පසුව යළිත් එම සමූහ මිනී වළේ කැණීම් කටයුතු ආරම්භ කරණ ලෙසට මහේස්ත්‍රාත් වරයා අවසර දුන්නේය.
චෙම්මනි සමූහ මිනී වලෙන් අදියරයන් දෙකක කැණීම් වලින් දින 54 ක් ඇතුළත මිනිස් අස්ථි කොටස් 240 ක් හමු වූයේය. ඒවා යාපනය අධිකරණයේ සුරක්ෂිතව ගබඩා කොට තිබේ.
චෙම්මිනි අපරාධය ගැන සිහි කිරීමක්
චෙම්මනි සමූහ මිනීවළ යනු ශ්‍රී ලංකාවේ සිවිල් යුද ඉතිහාසය තුළ ලේඛනගත වූ වඩාත් අඳුරු සහ අමානුෂික මතකයන් අවදි කරන සංකේතයකි.
මෙම සමූහ මිනීවළ පිළිබඳ තොරතුරු මුලින්ම ලෝකය හමුවේ අනාවරණය වූයේ 1998 වසරේදී ය. එය යුද සමයේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳ සාක්ෂි දරන්නක් ලෙස සැලකේ.
යාපනය අර්ධද්වීපය රජයේ පාලනයට නතු වූ 1996 වකවානුව තුළ අතුරුදන් වූ සහ ඝාතනයට ලක් වූ සිවිල් වැසියන් සිය ගණනකගේ සිරුරු මෙම ස්ථානයේ වළ දමා ඇති බවට මුල් කාලීනව චෝදනා එල්ල විය. මේ කෲරත්වයේ භූමිය හෙළිදරවු වන්නේ තවත් එවැනිම නින්දිත අපරාධයක් කළ නිල ඇඳුමෙන් සැඟව සිටි මිනීමරු අපරාධකරුවෙක් සිදුකළ හෙළිදරව්වක් සමගය. චෙම්මිනි සමූහ මිනීවලේ කතාව යනු මේ වනවිට ලෝක මට්ටමින් සංවාදයට භාජනය වී ඇති ක්‍රිෂාන්ති කුමාරස්වාමි නැමැති පාසල් දැරිය දූෂණය කර මරා දැමීමේ සිද්ධියේ විමර්ශන දිගුවක් ලෙස අනාවරණය වූවකි.
ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය

ක්‍රිෂාන්ති කුමාරස්වාමි ඝාතනය ශ්‍රී ලංකාවේ සිවිල් යුද සමය තුළ සිදුවූ අතිශය කම්පනීය සහ කුරිරු මිනිස් ඝාතනයක් ලෙස ඉතිහාසයට එක්වූවකි. 1996 වසරේ සැප්තැම්බර් 07 වනදා යාපනයේ කයිතඩි රජයේ විද්‍යාලයේ උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි ක්‍රිෂාන්ති කුමාරස්වාමි, පාසල නිමවී නිවස බලා යමින් සිටියදී චෙම්මනි හමුදා මුරපොළේදී ආරක්ෂක අංශ භාරයට පත්විය.
එහිදී ඇයව සමූහ දූෂණයකට ලක් කර ඝාතනය කරන ලද අතර, ඇය සොයා ගිය ඇගේ මව වන රාසම්මා, සහෝදරයා වූ ප්රණීවන් සහ අසල්වැසියා වූ කිරුපමූර්ති යන තිදෙනාව ද එම මුරපොළේදීම අමානුෂික ලෙස ඝාතනය කර රහසිගතව වළ දමනු ලැබීය.
මෙම සිදුවීම ජාත්‍යන්තර අවධානයට ලක්වූයේ එහි වූ අතිශය අමානුෂික ස්වභාවය සහ වින්දිතයන්ට යුක්තිය ඉල්ලා නැගුණු දැඩි විරෝධය හේතුවෙනි.
මෙම ඝාතන සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන්ට එරෙහිව කොළඹ මහාධිකරණයේදී නඩු විභාගයක් පැවැත්වුණු අතර, එහිදී යුද හමුදා සෙබළුන් කිහිප දෙනෙකුට මරණ දඬුවම නියම විය.

චෙම්මිනි සමූහ මිනීවල ගැන හෙළිදරවු වන්නේ මෙම නඩු විභාගයේදී එක් විත්තිකරුවෙකු වූ සෝමරත්න රාජපක්ෂ කළ පාපොච්ඡාරණයත් සමඟය. චෙම්මනි ප්‍රදේශයේ තවත් සමූහ මිනීවළවල් පවතින බවට වූ එම හෙළිදරව්ව චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ රහස ලෝකය හමුවේ දිගහැරීමට ප්‍රධාන හේතුවක් විය.
එතැන් සිට විවිධ අදියර යටතේ සිදු කළ කැණීම්වලදී හමුවූ දිරාපත් වූ මිනිස් අස්ථි කොටස්, ඇඳුම් කැබලි සහ අනෙකුත් භෞතික සාක්ෂි මගින් තහවුරු වූයේ මෙය එක් පුද්ගලයෙකුට හෝ පිරිසකට සීමා නොවූ, මහා පරිමාණ සමූහ ඝාතනයක සාක්ෂි ගබඩාවක් බවය.
යුද්ධයේ කෲරත්වය හමුවේ යුක්තිය සහ සාධාරණය අපේක්ෂාවෙන් දශක ගණනාවක් බලා සිටින අතුරුදන් වූවන්ගේ ඥාතීන්ට මෙම කැණීම් කටයුතු යළි ආරම්භ වීම හුදු තාක්ෂණික ක්‍රියාවලියකට වඩා, තම ආදරණීයයන්ට අත් වූ ඉරණම පිළිබඳ සත්‍යය දැනගැනීමට ඇති එකම මාවතය .
ජාත්‍යන්තර අවධානය පවා දිනාගත් මෙම චෙම්මනි අර්බුදය, ලංකා ඉතිහාසයේ නොමැකෙන කැළලක් ලෙස ඉතිරි වී ඇත්තේ වගවීම සහ මානුෂීය අයිතිවාසිකම් පිළිබඳ ගැඹුරු සංවාදයක් යළි යළිත් ඉල්ලා සිටිමිනි. එය සම්බන්ධව නීතියේ යුක්ති ධාර්මික ක්‍රියාවලය සහ ඉන් ලැබෙන තීන්දු මත පමණක් මේ අපවාදයෙන් ජාතියක් ලෙස අපට ගැලවීමට ඇති එකම මාර්ගය බව පෙනේ. රණවිරුවන් සහ පාදඩ මිනීමරු කාලකණ්ණින් වෙන් කරගෙන යුද්ධයක ජයග්‍රහණයට සැබෑම අර්ථයක් ලබා දිය හැක්කේ ඒ ක්‍රියාවලියට පමණය.







