ජාලිය වීරක්කොඩි –
පහුගිය දවස් දෙක තුන ගෙවි ගියේ ලාල් කාන්තගේ වත්කම් ගැන කතා කරන්නටය. මේ වත්කම් ප්රකාශනයේ ඉහළින්ම සිටියේ හිරු මාධ්‍ය නාලිකාවය. අද දවල් වැඩේ පත්තු වුනේය.
ලාල්ගේ කෝටි 46 වත්කම් ගැන කියනකොට ඇත්තටම මේ රටේ මිනිස්සු ඇඹරී ගියේය.කෝටි 383ක වත්කම් සමාගම් 10ක ආයෝජනය කර ඇති ලාල් කාන්ත ඒ තරම් මුදලක් ආයෝජනය කළ බව කීවේ 2022 දී ය. තර්කය උනේ මේ තරම් මුදලක් එන්නේ කොමිස් වශයෙන් බවය. මේ කොමිස් මුදල් හෝ කළු සල්ලි කොටස් වෙළෙඳපලේ ආයෝජනය කරන්නේ සුදු කිරිමට බවය. දැන් ලාලා පට්ට් දුෂ්ඨයෙක් මෙන්ම දූෂිතයෙක් ද වී තිබුණේය.
මගේ මස්සිනා මේ මේ සම්බන්ධව සිටියේ අප්‍රමණ ප්‍රමෝදයකිනි. “ ලාලා ගෙ සමාජ ප්රාග්ධනය ඇයි බං කොටස් වෙළෙඳපොළේ ඉන්වෙස්ට් කළේ. “ මෑන්ට හොඳටම හිනාය. “කවුරු හරි සහෝදරයෙක් දෙන්න ඇති නේද බං කෝටි 38ක් අහිංසකයට..”
මගේ මස්සිනා වගේ මස්සිනාලා ගොඩක් මේ හිරු ප්‍රවෘත්තියේ අප්‍රමාණ සොයා ගැනීමෙන් ආතල් ගත්තේය. ලාල් බිලියන 10ක් ඉල්ලා හිරු ප්රවෘත්ති ආයතනයෙන් වන්දියක් ඉල්ලා අද එන්තරවාසිය යවන්නේ ඒ අතරය. ලාල් කිව්වේ තමන් විසින් ඉදිරිපත් කරන ලද නිල වත්කම් හා බැරකම් ප්‍රකාශයේ අන්තර්ගතය සිතාමතාම සහ ද්වේෂසහගත ලෙස විකෘති කරමින් මහජනතාව හිරු නාලිකාව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කර ඇති බවය.
ඔහු ඉන් තමාට වුන අගතිය වෙනුවෙන් රුපියල් බිලියන 10ක (රුපියල් කෝටි 1000ක) අලාභයක් ඉල්ලා අද අප්‍රේල් 18 එම එන්තරවාසියක් යොමු කළේය.
ලියාපදිංචි තැපෑලෙන් සහ විද්‍යුත් තැපෑලෙන් යොමු කර ඇති මෙම නීතිමය නිවේදනය මගින් පෙන්වා දුන්නේ, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව (CIABOC) වෙත අමාත්‍යවරයා විසින් ලබා දී තිබූ 2025 වර්ෂයට අදාළ ප්‍රසිද්ධ ලේඛනයක් වන වත්කම් ප්‍රකාශය, අදාළ මාධ්‍ය ආයතනය විසින් අනිසි ලෙස පරිහරණය කර ඇති බවය.
හිරු කිව්වේ කුමක් ද?
පසුගිය 16 වැනිදා හිරු මාධ්‍ය ජාලය තමන්ගේ ප්‍රධාන ප්රවෘත්ති විකාශනයෙන් සහ ඔවුන්ගේ මිලියන ගණනක් ඉන්නා සමාජ මාධ්‍ය වේදිකාවලින් ප්රකාශනය කළ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ලාල් කාන්ත කෘෂිකර්ම ඇමතිගේ කෝටි 48ක වත්කම්ය. එදින හිරු ප්‍රධාන ප්රවෘත්ති විකාශනයේ දී විශාල ඉඩක් වෙන් කරගනිමින් මෙවැනි ප්‍රවෘත්තියක් විකාශනය කළේය.
ඒ විකාශනය කළ ප්‍රවෘත්තිය මෙසේය.
“2023 අංක 09 දරණ දුෂණ විරෝධි පනත යටතේ දේශපාලන නියෝජිතයින් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුයි. ඒ අනුව 2025 වර්ෂයට අදාළව පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් විශාල ප්‍රමාණයක් සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශ පසුගිය වසරේ අගභාගය වන විට ඉදිරිපත් කර තිබුණා. “
“ඒ අනුව 2024/2025 වර්ෂයට අදාළව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා සිය වත්කම් සහ බැරකම් ප්‍රකාශය පසුගිය වසරේ දෙසැම්බර් 26 දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙනවා. “
“එම වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අනුව කේ. ඩී. ලාල් කාන්ත මහතා නිශ්ඡල දේපළ ලෙස තෑගි ඔප්පු වලින් හිමිවූ රුපියල් මිලියන 6ක වටිනාකමකින් යුතු වර්ග අඩි 2500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පර්චස් 10ක ඉඩමක්, රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුත් ස්ථීර ගොඩනැගිල්ලක් සහ පර්චස් 20 ක ඉඩමක්, රුපියල් මිලියන 56ක වටිනාකමින් යුත් වර්ග අඩි 4500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ පවස් 14ක ඉඩමක් ඉදිරිපත් කර තිඛෙනවා.”
“ඊට අමතරව පසු උරුමයෙන් හිමිවු රුපියල් ලක්ෂ 25ක වටිනාකමකින් යුතු වර්ග අඩි 1500ක නේවාසික ගොඩනැගිල්ලක් සහ වාණිජ ගොඩනැගිල්ලක් සිය නිශ්ඡල දේපළ ලෙස ප්‍රකාශ කර තිබෙනවා. “
“ලාල්කාන්ත අමාත්‍යවරයාගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශයට අනුව රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුතු පවුම් 8ක රන් ආභරණ සහ රුපියල් මිලියන 3ක වටිනාකමකින් යුතු රන් පවුමක් සහ රුපියල් ලක්ෂ 45ක වටිනාකමකින් යුතු මෝටර් රථයක් ද චංචල දේපළ ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. “
“මේ අතර පෞද්ගලික ආයතන 10කට අදාළ රුපියල් තිස් අටකෝටි තිස්නව ලක්ෂ හය දහස් හත්සිය පහයි ශත හතලිභක සුරැකුම්පත් ද ඔහු මිල දී ගෙන තිබෙනවා.”
“මෙම වත්කම් බැරකම් ප්‍රකාශයට කේ. ඩී. ලාල් කාන්ත මහතා වැටුප් මගින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් හත් ලක්ෂ තිස් අට දහස් නවසිය දහ අටයි ශත දහයක්, දේපළ බදු දීමෙන් ලැබෙන ආදායම් ලෙස රුපියල් ලක්ෂ හතරක් සහ විශ්‍රාම වැටුත් ලෙස රුපියල් හත්ලක්ෂ හැත්තෑ එක් දහස් භාරසියක මුදලක් දක්වා තිබෙනවා.”
“ස්ථාවර තැන්පතු මඟින් වාර්ෂිකව උපයන ආදායම ලෙස රුපියල් විසිහත් ලක්ෂ පනස් පන් දහස් අටසීය පනස් එකයි ශත අනු හතක් ප්‍රකාශ කර ඇති අතර වර්තමාන රැකියාව ලෙස දක්වමින් වාර්ෂිකව රුපියල් දහඅට ලක්ෂයක් ද දක්වා තිබෙනවා.”
“ මේ අනුව කේ.ඩී. ලාල් කාන්ත අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇති වත්කම්වල මුළු දළ වටිනාකම රුපියල් 46 කෝටිය ඉක්මවනවා.” හිරු ගණන් බලා තිබුණේ එසේය.
සොරි වෙන වැරදීම
හිරු ඉදිරිපත් කළ ලාල් කාන්තගේ කෝටි 48ක වත්කම්වලින් කෝටි 38ක් ආවරණය වූයේ සමාගම් 10ක ආයෝජනය කර තිබුණු බව කියන අදාළ රුපියල් තිස් අටකෝටි තිස්නව ලක්ෂ හය දහස් හත්සිය පහයි ශත හතලිහක සුරැකුම්පත් වලිනි.
නමුත් සැබෑ තත්ත්වය නම්, එම කොටස් සහ සුරැකුම්පත්වල සැබෑ මුළු වටිනාකම රුපියල් එක් ලක්ෂ හතලිස් තුන් දහස් හාරසිය හැත්තෑ හයක් (1,43,476 )ක් වැනි ඉතා සාමාන්‍ය අගයක් ගැනීමය. මිලදී ගන්නා අවස්ථාවේ රුපියල් අනු දහසක් පමණ වූ එම කොටස්වල වටිනාකම මේ වනවිට ඉහළ ගොස් ඇත්තේත් රුපියල් පනස් දහසකට ආසන්න මිලකිනි.
කෙලවන්නට තිබූ හදිස්සියට දෝ හිරු විසින් වත්කම් ප්‍රකාශයේ ඇති වගුව කියවා ඇත්තේ වැරදි ලෙසය. කොටස් ප්‍රමාණය (Quantity) සඳහන් තීරුව, ඒකකයක මිල (Unit Price) ලෙස සලකා එය මුළු වටිනාකම සමඟ ගුණ කිරීමෙන් මෙම අතිවිශාල සහ මවාපෑම් සහිත ඉලක්කම් නිර්මාණය කර තිබිනි. අනෙක් බරපතලම කාරණාව වී තිබුණේ මෙම එක් ලක්ෂ හතලිස් තුන් දහස් හාරසිය හැත්තෑ හයක් විටිනා කොටස් ප්‍රමාණය ආයෝජනය කර තිබුණේ අමාත්‍යවරයාගේ දියණිය වීමය.
නීතිඥවරු කියන කතාව
අමාත්‍යවරයාගේ දියණිය විසින් සමාගම් කිහිපයක මිලදී ගෙන ඇති කොටස්වල වටිනාකම මෙහිදී ප්‍රධාන වශයෙන් විකෘති කර ඇති බව නීතිඥවරු පෙන්වා දුන්හ. එම කොටස් මිලදී ගන්නා අවස්ථාවේදී රුපියල් 90,000කට ආසන්න වටිනාකමක් පැවති අතර, වර්තමාන වෙළෙඳපොළ අගය අනුව එහි සම්පූර්ණ වටිනාකම වන්නේ රුපියල් 1,43,000කට ආසන්න මුදලක් බව ඔවුහු සාධක සහිතව කීහ.
එහෙත් හිරු නාලිකාව එම දත්ත සාවද්‍ය ලෙස හුවා දක්වමින්, අමාත්‍යවරයා පෞද්ගලික ආයතන 10ක රුපියල් තිස් අට කෝටි තිස් නව ලක්ෂයකට අධික සුරැකුම්පත් මිලදී ගෙන ඇති බවට ද්වේෂසහගත ලෙස ප්‍රචාරය කර ඇති බව නීතිඥවරු දැන් පෙන්වා දී ඇත්තේය
වත්කම් බැරකම් ප්‍රකාශය මගින් අමාත්‍යවරයාගේ දියණිය සතු කොටස්වල සැබෑ වටිනාකම තහවුරු කර ගැනීමට ඕනෑම අයෙකුට හැකියාව තිබියදී, මාධ්‍ය ආයතනය මෙවැනි අසත්‍ය සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම පිටුපස යටි අරමුණක් පවතින බව නීතිඥවරු හුවා දක්වති.
මාධ්‍ය වගකීම පැහැර හැරීම සහ බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කිරීම මහජන දේපළක් වන සංඛ්‍යාත භාවිත කරමින් රජය ලබා දුන් බලපත්‍රයක් මත ක්‍රියාත්මක වන ආයතනයක් ලෙස, මෙවැනි පුවතක් ප්‍රචාරය කිරීමට පෙර අදාළ අමාත්‍යවරයාගෙන් කිසිදු විමසීමක් හෝ පැහැදිලි කිරීමක් ලබා ගැනීමට මාධ්‍ය ජාලය උත්සාහ කර නොමැති බව ද නීතිඥවරු අවධාරණය කරති.
නිසි සැළකිල්ලකින් සහ වගකීමකින් තොරව කටයුතු කිරීම හරහා අදාළ හිරු හිතාමතාම අමාත්‍යවරයාට අපහාස කිරීමේ අරමුණින් කටයුතු කර ඇති බව එන්තරවාසියේ අවධාරණය කර තිබේ.
ප්‍රධාන රූපවාහිනී පුවත් විකාශයට අමතරව, අදාළ මාධ්‍ය ආයතනය සිය ඩිජිටල් වේදිකාවන් ද මේ ව්‍යසනය සඳහා උපයෝගී කරගෙන ඇති බව නීතිඥවරු කියති. එහිදී “ඇමති ලාල්ට කෝටි 46ක එහා වත්කම්! වත්කම් බැරකම් ප්‍රකාශයේ තෑගි ඔප්පු වලින් ලැබුණු මිලියන 64.5ක දේපළක්!” යනුවෙන් ප්රකෝපකාරී සිරස්තල යොදා ඇති බවත්, අමාත්‍යවරයාගේ රුව ‘Thumbnail’ ලෙස භාවිත කරමින් විශේෂ වීඩියෝවක් ලෙස මෙම ප්‍රවෘත්තිය සංස්කරණය කර පළ කර ඇති බවත් එන්තරවාසියේ දැක්වේ.
මෙම සමස්ත ක්‍රියාවලියම අමාත්‍යවරයා කෙරෙහි මහජනතාව තුළ වැරදි මතයක් ඇති කරවීමටත්, ඔහුගේ දේශපාලන අනන්‍යතාවයට හානි කිරීමටත් සැලසුම් සහගතව සිදු කළ එකක් බවත් අමාත්‍ය පාර්ශවයේ ස්ථාවරය වී තිබේ.
බලපත්‍ර අවලංගු කිරීමේ අවධානම සහ නෛතික අනතුරු ඇඟවීම්
අමාත්‍යවරයා වෙනුවෙන් නීතිඥවරුන් යොමු කළ එන්තරවාසිය මගින් හිරු මාධ්‍ය ජාලය වෙත තවත් බරපතළ චෝදනාවක් එල්ල කර තිබේ. එහි සඳහන් වන්නේ රජය විසින් ලබා දී ඇති විකාශන බලපත්‍රයක් යටතේ ක්‍රියාත්මක වන මෙම ආයතනය, මහජන දේපළක් වන සංඛ්‍යාත (Frequencies) පටු සහ පෞද්ගලික දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් දිගින් දිගටම අවභාවිත කරන බවය.
මාධ්‍ය සදාචාරය උල්ලංඝනය කරමින් සිදු කරන මෙවැනි ක්‍රියාවන් හේතුවෙන් අදාළ නාලිකාවට නිකුත් කර ඇති විකාශන බලපත්‍ර අවලංගු කළ යුතු බවට බලධාරී ආයතන වෙත කරුණු දැක්වීමට තමන්ට පූර්ණ අයිතියක් ඇති බව අමාත්‍යවරයා මේ එන්තරවාසිය මගින් අවධාරණය කර තිබේ.
මෙම එන්තරවාසිය මගින් ඉදිරිපත් කර ඇති කොන්දේසි සහ ඉල්ලීම්වලට අදාළ කාලය තුළ යහපත් ප්‍රතිචාරයක් නොදක්වන්නේ නම්, අදාළ රුපියල් බිලියන 10ක වන්දියට අමතරව නෛතික පොලිය සහ නඩු ගාස්තු ද අය කර ගැනීමට අධිකරණයේ පිහිට පතන බව මේ වනවිට ලාල් කාන්ත හිරු අයිතිකාර රේනෝට දන්වා ඇත.
කුඩු ජාවාරම් චෝදනා ලැබ සිටි, පසුව මිනී මැරීමේ වරදට වරකරු වී මරණ දඬුවම නියම වී සිටින දුමින්ද සිල්වා නැමැති අපරාධකරුට නිදහස ලබා ගැනීම සඳහා තමන් සතු උපරිම බලය යොදවන දුමින්දගේ සොයුරා වූ රේනෝ ද සිල්වා සිය හැසිරීමේ වියරුව විසින් දැන් ප්‍රශ්න කිරීමකට ලක් වී ඇත. කෙසෙල් ගසේ හොට පැටලුන කොට්ටෝරුවාට වුන වැඩේ රේනෝට සිදුවී ඇති බව පෙනේ. එය මේ රට මාධ්‍ය පකීර්ලාට යම් සන් කිරීමක් කරනු ඇතැයි විශ්වාස කරමු. කෙලවන්න හදිස්සි වෙනකොට තමන්ට කෙළවෙන හැටි නොපෙනෙන නිසාය.







