නවීකරණය කර 2026 අප්‍රේල් 8 වැනිදා ජනතා පරිහරණය සඳහා විවෘත කළ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පළේ දේපළවලට අනර්ථය සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පිටකොටුව පොලිසිය සමත්ව තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ එම නැවතුම්පළේ සුභ සාධක අංශය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව 2026 අප්‍රේල් 11 වැනිදා කැළණිය ප්‍රදේශයේදීය.
පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරන පරිදි, මෙම නැවතුම්පළ නවීකරණයෙන් පසු ජනතා අයිතියට පත්වූ දිනකදීම එහි දේපළවලට හානි සිදුවීම පිළිබඳ පැමිණිල්ල ලැබී ඇත. ඒ අනුව ක්‍රියාත්මක වූ පිටකොටුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ 33 හැවිරිදි කැළණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරු සතුව තිබී සොරකම් කරන ලද දේපළවලින් කොටසක් ද පොලිසිය භාරයට ගෙන තිබේ.
ඔහු විසින් මේවා සොරකම් කරන ලද්දේ අලෙවි කිරීමේ අරමුණින් ද නැතහොත් වෙනත් කඩාකප්පල්කාරී චේතනාවකින් ද යන්න පිළිබඳව විමර්ශන ක්‍රියාත්මකයි.
නැවතුම්පළේ සිදුව ඇති දේපළ හානිය සම්බන්ධයෙන් නිසි තක්සේරුවක් ලබා ගැනීම සඳහා මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතුවලට දායක වූ ශ්‍රී ලංකා ගුවන් හමුදාව මගින් වාර්තාවක් කැඳවීමට පොලිසිය පියවර ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2026 අප්‍රේල් 17 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර ඇත.
අපවිත්‍ර කරන්නන් ලවාම පිරිසිදු කරවීම
මේ අතර, නවීකරණය කරන ලද බස් නැවතුම්පළේ පිරිසිදුකම පවත්වාගෙන යාම සඳහා බලධාරීන් අපූර්ව ක්‍රියාමාර්ගයක් අනුගමනය කර තිබේ. ඒ අනුව, බස් නැවතුම්පළ භූමිය තුළ බුලත් කෙළ ගසමින් සහ විවිධ අපද්‍රව්‍ය දමමින් එය අපවිත්‍ර කරන පුද්ගලයින් ආරක්ෂක කැමරා සහ සිවිල් ඇඳුමෙන් සැරසුණු නිලධාරීන් මගින් හඳුනා ගැනීමට කටයුතු කර ඇත.
මෙලෙස හඳුනාගනු ලබන පුද්ගලයින් ලවාම ඔවුන් අපවිත්‍ර කළ ස්ථාන පිරිසිදු කරවීමට බලධාරීන් පියවර ගෙන තිබීම විශේෂත්වයකි. මහජන විනය ඇති කිරීම සහ පොදු දේපළ කෙරෙහි වගකීමක් ඇති කරවීම මෙහි මූලික අරමුණ වී තිබේ.
නවීකරණයෙන් පසුවත් දිගින් දිගටම සිදුවන මෙම දේපළ හානි සහ අපවිත්‍ර කිරීම් පිළිබඳව අප්‍රේල් 10 වැනිදා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන එම ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. විශේෂයෙන්ම කාන්තා වැසිකිළිවල සවිකර තිබූ කරාම පළමු දින ගලවා තිබීමෙන් පසු නැවත සවි කළ ද, දෙවැනි දිනටත් ඒවා ගලවා ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මෙවැනි විනාශකාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන ලෙස උපදෙස් ලබා දුන්නේය.
තවද, බුලත් කෙළ ගසමින් පරිශ්‍රය අපවිත්‍ර කරන පිරිස් ලවාම එම ස්ථාන පිරිසිදු කරවීමේ වැඩපිළිවෙළ තවදුරටත් දැඩිව ක්‍රියාත්මක කරන බව ද ඔහු අවධාරණය කළේය.
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ නවීකරණය වූ මෙම පරිශ්‍රය දිනකට ලක්ෂ පහකට ආසන්න මගීන් සංඛ්‍යාවකට සේවය සපයන අතර, එහි ආරක්ෂාව සහ පිරිසිදුකම සුරැකීම මහජනතාවගේ ද මූලික වගකීමක් බව බලධාරීන් වැඩිදුරටත් සිහිපත් කර සිටියි.







