උපේක්ෂා උඩුවැරැල්ල –
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (04) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කර තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ප්‍රභාත් සුගතදාස සඳහන් කළේ හෙට රැස්වෙන සිය විධායක සභාවේදී ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීරණාත්මක තීන්දුවක් ගන්නා බවය. පශ්චාත් සීමාවාසික පත්වීම් ලබාදීමේ ක්‍රියාවලියට එරෙහිව මෙම වර්ජනය ක්‍රියාත්මක වන අතර, මේ හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක සාමාන්‍ය ප්‍රතිකාර කටයුතු අඩාල වී ඇත
ප්රශ්නය මාත් එක්ක නම් එන්න අපි බේරගනිමු – සෞඛ්‍ය ඇමති
මෙම වර්ජනය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක සිටිමින් අදහස් දැක්වූ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස පවසන්නේ වෛද්‍ය සංගමය සමග සාකච්ඡා කිරීමට කිසිම වෘත්තීය ගැටලුවක් මේ මොහොතේ තමන් ඉදිරියේ නැති බවය. මේ අවිචාරවත් මෙන්ම අමානුෂික වර්ජනයක ්ලෙස හඳුන්වන ඇමතිවරයා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.
“ඔබ කියනවා නම් මේ පශ්චාත් සීමාවාසික පත්වීම් ලබා දීම නීති විරෝධියි, ඒකට ස්ථාන මාරු මණ්ඩල අනිවාර්යයෙන් සිටිය යුතුයි, ඒක තමයි ආයතන සංග්‍රහයෙ තිබෙන්නේ කියලා හොඳම දේ ජනතාව පැත්තකින් තියලා මට විරුද්ධව අධිකරණයට යන එක. අධිකරණයට ගියා නම් අධිකරණයෙන් එන්නේ එක පැත්තක ඇමතිවරයා හැටියට මම. අනෙක් පැත්තෙ GMOA හැටියට ඔබේ කණ්ඩායම. එතකොට මේකට ජනතාව මැදි වෙන්නේ නෑ.”
වර්ජනයේ දේශපාලන පසුබිම ගැන ද ඇමතිවරයා මෙසේ කීවේය:
“ආණ්ඩුව පෙරළා ගැනීමට ඕනෑ කරන දේශපාලන වර්ජනවලට ප්‍රතිචාර දක්වන ක්‍රම තියනවා. ඒ අනුව තමයි අපි කටයුතු කරගෙන යන්නේ. සෙනසුරාදා දවල් වෙනකම් විතරයි පශ්චාත් සීමාවාසී වෛද්‍යවරුන්ට අයදුම් කරන්න ඉඩ දීලා තියෙන්නේ. ඔවුන් විශාල වශයෙන් අයදුම් කරමින් පවතිනවා. ”
අයදුම් නොකරන තරුණ වෛද්‍ය උපාධි ධාරීන්ට සිදුවන දේ කුමක් ද?. ඇමතිවරයා ඒ සම්බන්ධව බරපතල පැහැදිලි කිරීමක් කරමින් පෙන්වා දුන්නේ ඔවුන්ට වැටුප් අහිමි වීම සහ පත්වීම් අවකාශය විවර නොවීමට ඇති අනතුරය.
” මේකෙන් හැලෙන අයට ලබන මාසයේ බඳවා ගන්නා 1300ක කණ්ඩායම සමග ඉල්ලුම් කරන්න අවස්තාව තියනවා. හැබැයි ඉල්ලුම් කරන්න බැරිද පුලුවන්ද කියන එක තීන්දු කරන්නේ මම නෙමෙයි. රාජ්‍ය සේවා කොමිෂන් සභාව. ඒ එක්දහස් තුන්සීයේ අගට තමයි ඉල්ලන්නෙ නැති කීප දෙනා එකතු වෙන්නේ. එතකොට මෙරිට් සම්බන්ධව සැලකීමක් වෙන්නේ නෑ. ”
“මේ සෞඛ්‍ය ඇමති ලෙස මා ගෙනා ක්‍රමවේදයක් නොවේ. මෙතෙක් පැවති විදිහ… කොහොමත් සාමාන්‍යයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය කරපු දේ තමයි පශ්චාත් සීමාවාසික පුහුණුවේ ලේඛනය ඉදිරිපත් කළාම අපි දිනයක් සහ සේවා ස්ථානයක් ලබා දෙනවා ඒ අයට රාජකාරියට වාර්තා කරන්න කියලා. ඒ රාජකාරියට වාර්තා කළාට පස්සේ ඔවුන්ට වැටුප් හැදෙන්නේ අලුත් රාජකාරි ස්ථානයෙන්. එතකොට කෙනෙක් පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු හැටියට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා ඉල්ලුම් කරන්නේ නැතිව සීමාවාසික පුහුණුවෙන් පසුව RHO ලෙස තමන් හිටපු ස්ටේෂන් එකේම ඉන්නවා නම්, මේ අලුත් පත්වීම් භාරගන්න දිනයෙන් පසු ඔවුන්ට වැටුප් හිමිවෙන්නෙත් නෑ. ඔවුන්ට රාජකාරිය එතනින් අවසන් වෙනවා.”
GMOA බලපෑම් මත කටයුතු නොකරන ලෙස ඇමතිවරයා ඉල්ලා සිටින්නේය. අවුරුදු 27-29 අතර පසුවන විද්වත් වෘත්තිකයින් ලෙස ස්වාධීනව තීරණයක් ගන්නා ලෙස ඔහු නවක තරුණ වෛද්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින්නේය. “මේ වෛද්‍යවරු 453ක් බිල්ලට අරන් ඔවුන් බය කරලා විකෘති සහගත අසත්‍ය තොරතුරු කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ කරගෙන යන ක්‍රියාවලිය අතිශය අමානුෂිකයි. අතිශය අසාධාරණයි. ඒ නිසා මා පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන්ට කියන්නේ ඔබ කිසිවෙකුට බය වෙන්නට එපා. ඔබට කවුරුහරි පුද්ගලයෙක් හැටියට හෝ කණ්ඩායමක් හැටියට රජයේ සේවයට ඇතුළත් වීම සඳහා අයදුම් කිරීමට එරෙහිව ඔබව බිය ගන්වන ආකාරයට තර්ජනයක් කර තිබෙනවා නම් ඔබ වහාම සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කරන්න. අපි ශ්‍රී ලංකා පොලිසිය හරහා ඒ ගැන විමර්ශන කරනවා.”
ඇමතිවරයා අවධාරණය කරන කාරනාවක් තිබේ. එනම් රජයේ සේවයට ඇතුළත් වීම වැලැක්වීම සඳහා යම් කණ්ඩායමක් කටයුතු කරන්නේ නම් එය බරපතල ලෙස සලකා රජය කටයුතු කරන බවය.
“සමහර රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ට සහ වෛද්‍යවරුන්ට තර්ජන එල්ල වී ඇති බවට පැමිණිලි ලැබිලා තියනවා. ඒ අය තමන් යටතේ තමන් එක්ක වැඩ කළ පශ්චාත් සීමාවාසී වෛද්‍යවරුන්ට රජයේ සේවයට අයදුම් කරන්න කියලා කීම තමයි එම තර්ජන එන්න හේතුව. ඒ පැමිණිලි ගැනත් අපි සඳුදාගෙන් පස්සේ පරික්ෂණ පවත්වනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය වෙනමත් පොලිසිය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරහා එම කටයුතු සිදුවේවි. කෙසේ වෙතත් සෙනසුරාදා දවල් 12න් පස්සේ එක විනාඩියක්වත් දික් කරන්නේ නෑ.” සෞඛ්‍ය ඇමති සිය ස්ථාවරය තහවුරු කළේය.
“වෛද්‍යවරයෙක් බිහි කරන්න ලක්ෂ 60ක් වැය කරනවා” – ඇමති ආචාර්ට උපාලි පන්නිලගේ
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ට උපාලි පන්නිලගේ පෙන්වා දුන්නේ වෛද්‍යවරුන් යනු ජනතා බදු මුදලින් සුවිශේෂී වරප්‍රසාද ලබන පිරිසක් බවයි. එක් වෛද්‍යවරයෙක් බිහි කිරීමට වෛද්‍ය විද්‍යාලයේ ගත කරන වසර පහ වෙනුවෙන් ජනතාව ලක්ෂ හැට බැගින් වැය කරන බව ඔහු පෙන්වා දුන්නේය. ඔහු නිදහස් අධ්‍යාපනයේ ඵලයක් ලෙස නිර්මාණය කිරීමට දරන සමස්ථ පිරිවැය ඊටත් වඩා බෙහෙවින්ම වැඩිය.
“අපේ රටේ සෞඛ්‍ය ක්ෂේත්රය ගත්තාම, අපේ ආණ්ඩුවත් නිදහසෙන් පසුව බලයට පත් වුණ හැම ආණ්ඩුවක්ම කල්පනා කළේ, නිදහස් සෞඛ්‍ය සේවයක් ලබා දෙන්න. පුද්ගලයෙක්ගේ පර්ස් එකේ තියෙන සල්ලි මත ඒ පුද්ගලයා ජීවත් වෙනවා ද මිය යනවා ද කියන එක තීරණය කරන්න හොඳ නැහැ කියන එක අපි නිතරම කියන දෙයක්. ලංකාවේ වැඩිම බදු මුදලක් වැය කරන්නේ වෛද්‍යවරයෙක් බිහි කරන්න. අපේ රටේ ජනතාව විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන වෛද්‍ය සිසුවා අවුරුදු පහකට පස්සේ ඉන් පිට කිරීම සඳහා රුපියල් ලක්ෂ 60ක් වැය කරනවා. ඉංජිනේරුවරයෙක් බිහි කරන්න අපි වැය කරන්නේ ලක්ෂ 30යි. ඒ වගේ දෙගුණයක් මේ රටේ බදු ගෙවන ජනතාව වැය කරනවා. මේ අය සමාජයේ සුවිශේෂි වගකීමක් දරන අයයි. ඔවුන්ගෙන් සුවිශේෂි සේවාවක් මේ සමාජය අපේක්ෂා කරනවා.”
කානුපල්ලට වැටී ඇත්තේ මේ මිනිසුන්ය. එය සමස්ථ ජාතියක ඛේදවාචකය ප්‍රකාශ කරන්නේය.
සමාජ වියවුල සහ වෘත්තීයවේදයේ අර්බුදය
අද වන විට වෛද්‍ය වර්ජනයක් යනු හුදු වෘත්තීය අයිතිවාසිකම් දිනා ගැනීමේ සටනක් පමණක් නොව, එය පොදු මහජනතාවගේ ජීවත්වීමේ අයිතිය සමඟ කරන භයානක සූදුවක් බවට පත්ව තිබේ. රටේ ඉහළම බුද්ධිමතුන් ලෙස සැලකෙන වෛද්‍යවරුන් සහ රජය අතර පවතින මෙම ගැටුම විසින් නිර්මාණය කර ඇත්තේ දැඩි සමාජ වියවුලකි. අප අදත් දකින්නේ රෝහල් ඉදිරියේ ජීවිතය ඉල්ලා හඬා වැටෙන අසරණ රෝගීන්ය.
මෙම තත්ත්වය තුළ පෙනී යන තිත්ත ඇත්ත නම්, වෘත්තීය සමිති බලය හමුවේ මානුෂීය වගකීම පසෙකට තල්ලු වී ගොස් ඇති බවය. බදු ගෙවන ජනතාවගේ ලක්ෂ 60ක මුදලින් අධ්‍යාපනය ලබා පිටවන වෛද්‍යවරයා, සිය සේවා වගකීම දේශපාලන හෝ පරිපාලන ගැටලු ඉදිරියේ පරදුවට තැබීම සදාචාරාත්මක අර්බුදයකි.
රජය විසින් පොලිස් පරීක්ෂණ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීම හරහා ගැටලුව තවදුරටත් සංකීර්ණ වී ඇති අතර, එය බුද්ධිමතුන් සහ පාලකයන් අතර පවතින විශ්වාසයේ බිඳ වැටීම මනාව පිළිබිඹු කරයි.
අවසානයේදී මෙම ‘බල අරගලයේ’ සැබෑ බිල්ල බවට පත්වන්නේ දේශපාලනඥයන් හෝ වෛද්‍යවරුන් නොව, මේ දෙපාර්ශවයම නඩත්තු කරන මෙරට අහිංසක මිනිස්සු බව පමණක් දනිමු.







