ශ්‍රීමතී විජේරත්න .
විදුහල්පති – දෙමටලුව මහා විද්‍යාලය
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වී තිබේ. විභාගයෙන් සිසුන් තිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් විෂයන් තුනම අසමත් වී ඇත. අප විශ්වාස කරන්නේ මේ තිගස්වන සුළු ප්‍රතිඵලය සාමාන්‍ය සංඛ්‍යාත්මක දත්තයක් ලෙස නොව, රටේ අධ්‍යාපන පද්ධතියේ ගැඹුරු අර්බුදයක් ලෙස විසින් කියවිය යුතු බවය.
මේ ප්‍රකාශ වී ඇත්තේ එකවර සිසුන්ගේ අසමත් වීමක් නොවේ. ප්‍රකාශ වී ඇත්තේ පද්ධතියේ අඩුපාඩු සහ දුර්වලතා රැසක් එකට එකතු වූ ඛේදවාචකයකි. මෙවන් තත්ත්වයක් දිගටම පවතින්නේ නම්, අපේ අනාගතය ඇත්තේ බරපතළ අවදානමකය.
පාසල් පරිපාලකයින් ලෙස අප දකින්නේ බොහෝ සිසුන් තමන්ගේ හැකියාවන්, රුචිකතා සහ ශක්ති පරාසය නිවැරදිව හඳුනා නොගෙන විෂයයන් තෝරා ගැනීම මේ ප්රශ්නයේ මූලික හේතුව බවය. සමාජයේ ඇති “විද්‍යා” හෝ “වාණිජ” වැනි විෂය ප්රවාහයන්ට අධික ගරුත්වයක් ලබා දීමත්, දෙමාපියන්ගේ අධික බලාපොරොත්තුත්, සිසුන්ට අකමැති විෂය ධාරා තෝරා ගැනීමට බලපෑම් කරයි. එහි ප්‍රතිඵලය වන්නේ, ඔවුන්ට තෝරාගන්නා ක්ෂේත්රය තුළ අසාර්ථක වීමය.
එමෙන්ම අධ්‍යාපන පද්ධතිය තුළ තවමත් පවතින රටාව මතක ශක්තිය මත පදනම් වූ ඉගැන්වීම් ක්රමයකි. සිසුන්ගේ නිර්මාණශීලීත්වය, විශ්ලේෂණාත්මක සිතීම, සහ ප්‍රායෝගික හැකියාවන් වර්ධනය කිරීමට අවශ්‍ය අවස්ථා බොහෝ විට නොලැබේ. එමෙන්ම, පාසල් මට්ටමේ වෘත්තීය මාර්ගෝපදේශන සේවා දුර්වල වීම නිසා සිසුන්ට තමන්ගේ අනාගතය පිළිබඳ පැහැදිලි දැක්මක් නොලැබේ. එනවාට ඇවිත් ඒ මොහොත ගත කිරීම සඳහා කුමක් හෝ දෙයක් කර නැවත නිවසට යෑමට වඩා හැඟීමක් නැති දරුවන් පරම්පරාවකගේ ඛේදවාචකය අප අත් විඳින්නේ මේ වටපිටාවේදී ය.
මානසික පීඩනය සහ සමාජයේ බලපෑම
උසස් පෙළ විභාගය ජීවිතයේ එකම සාර්ථකත්වය ලෙස සලකන සමාජ මනෝභාවය සිසුන්ට දැඩි මානසික පීඩනයක් ඇති කරයි. විභාගයක් අසමත් වීම “අපහාසයක්” ලෙස සලකන සංස්කෘතිය තුළ, සිසුන් බිය, අවිශ්වාසය, සහ අසාර්ථකත්ව භීතිය යටතේ ඉගෙන ගනී. මේ තත්ත්වය ඔවුන්ගේ කාර්ය සාධනයට අහිතකර ලෙස බලපායි. අප විවෘතව බැලුවහොත් අපේම බොහෝ දරුවන් මේ මනෝභාවයේ ගොදුරු වී බිඳ වැටෙන අන්දම තේරුම් ගත හැකිය.
මේ තත්ත්වය තුළ විෂයන් තුනම අසමත් වීම බොහෝ දෙනා විසින් ජීවිතයේ අවසානයක් ලෙස සලකනු පෙනේ. එමෙන්ම ඉහළ ප්‍රතිඵල අත් කරගත් දරුවන් මහත් අභිමානයෙන් වර්ණනය කරනු ද මේ මොහොතවනවිට සුලභය. එහෙත් සරසවි ජීවිතය අවසානයේ දී පවා ජීවිත අර්ථනය නොකරන බොහෝ දෙනෙක් සම්බන්ධව නිශ්චිත සමාජ කියවීමක් තවමත් නැති පසුබිමක උසස්පෙළ සමත්වීම මංගල්ලයක් සේ සැලකීම නිසරු ප්රලාපයක් බව අප තේරුම් ගත යුතුව තිබේ.
විෂයන් තුනම අසමත් නම් එය නව අනාගත මාර්ගයක් සොයා ගැනීමට ලැබෙන අවස්ථාවක් ලෙස අපි නැවත අර්ථකථනය කරගැනීමේ අවශ්‍යතාවය දැන් මතු වී තිබේ. විෂයන් තුනම අසමත් වී ඇත්තනම් අසමත් වී ඇත්තේ තමන් තෝරා ගත් විෂය ධාරාව පිළිබඳ තේරීම පමණය. ලෝකයේ බොහෝ මාවත් විවර වී ඇති බව ඒ දරුවන්ට අවබෝධ කර දිය යුතුය. වෘත්තීය අධ්‍යාපනය, කාර්මික පුහුණුව, සහ විවිධ තාක්ෂණික පාඨමාලා මඟින් ලෝකය දිනා ගත් බොහෝ දෙනා වෙති. අවශ්‍ය වන්නේ නිශ්චිත නිවැරදි තේරීම පමණය. එම අවබෝධය ලබා දීම අධ්‍යාපනයේම වැදගත් අංශයක් ලෙස වර්ධනය විය යුතුව ඇත.
අනාගතය සඳහා කළ යුතු වෙනස්කම්
මෙවන් දුස් ප්‍රතිඵල ඇති නොවීමට අධ්‍යාපන ක්ෂේත්රයේ මූලික වෙනස්කම් සිදු කිරීමේ අනිවාර්ය අවශ්‍යතාවයක් මතුව තිබේ. වෘත්තීය මාර්ගෝපදේශනය ශක්තිමත් කිරීම, නවීන ඉගැන්වීම් ක්‍රම හඳුන්වා දීම, ගුරුවරුන්ට නව පුහුණු ලබා දීම, සහ මානසික උපදේශන සේවා වර්ධනය කිරීම මේ පද්ධතිය විසින් යලි යලිත් ඉල්ලා සිටී.
ඊලඟ වැදගත්ම කාරණය දෙමව්පියන් තමන්ගේ ඔලු හදා ගැනීමය. තමන්ට ලඟා වීමට නොහැකි වූ හීන සහ ජීවිතයේ ඇරියස් තම දරුවන් ලවා ලබා ගැනීමට උත්සාහ කිරීම තරම් මුග්ධ කමක් නැති බව විශේෂයෙන්ම අම්මලා තේරුම් ගත යුතුය. දරුවන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔවුන්ට ගැලපෙන මාර්ගයක් තෝරා ගැනීමට සහාය වීමේ දෙමව්පිය වගකීම ඉටු නොකර දරුවන් පරාජිතයයන් කිරීමේ පාපයෙන් පසු උන්ව මරාගෙන කන්නට යෑම කිසිවෙකුට යහපතක් උපදවන්නේ නැත.
යළිත් කිව යුත්තේ මෙවර සිසුන් තිස් දහසක් අසමත් වීම පද්ධතියක් ලෙස අපේ අසමත්කම ගැන අපට අනතුරු අඟවන බවය. එය සිසුන්ගේ පරාජයක් නොවේ. රටේ අධ්‍යාපන ක්‍රියාවලියේ වේදනාත්මක පරාජයකි. අධ්‍යාපනයේ සැබෑ වගකීම සෑම දරුවෙකුටම සාර්ථක වීමට හැකි පරිසරයක් සකස් කිරීමය.
මුලින්ම අසාර්තක දරුවන් නොව රටක් වශයෙන් අප බව පිළිගත යුතුව ඇත. දෙවනුව විභාගයක අසමත් වීම ජීවිතයේ අවසානයක් නොව, නව ප්‍රවේශ සිය ගණනක් විවර වීම බව දරුවන්ට සාධනීයව තේරුම් කර දිය යුතුව ඇත. අනාගතය සඳහා සාධනීය වෙනසට ඉන් ඉතාම ඉහළ ප්‍රායෝගික ප්‍රවේශයක් ලබා ගත හැකි වනු බව විශ්වාස කරමු.







