දිනසේන රතුගමගේ –
යාපනයේ ඓතිහාසික කීරිමලේ පොකුණ නැරඹීමට සහ ඒ ආසන්න මුහුදු තීරයේ ආගමික වතාවත් සිදුකිරීමට පැමිණෙන බැතිමතුන්ගෙන් සංවිධානාත්මක පිරිසක් විශාල වශයෙන් කප්පම් ලබා ගන්නා බවට තොරතුරු හෙළි වී තිබේ.
මෙම කප්පම් ගැනීම් සම්බන්ධයෙන් යාපනය වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව වෙත මේ වන විට පැමිණිලි 25කට අධික සංඛ්‍යාවක් යොමු වී ඇත. එහෙත් එම පැමිණිලි සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විධිමත් පරීක්ෂණයක් සිදු වී නොමැති බව පෙත්සම් ඉදිරිපත් කළ පිරිස් පෙන්වා දෙති.
පෙත්සම්කරුවන් චෝදනා කරන්නේ මෙම කප්පම් ලබා ගැනීමේ සිද්ධියට ප්‍රාදේශීය සභාවේ සේවකයින් පිරිසකගෙන්ද පූර්ණ සහයෝගය ලැබෙන බවයි. මේ හේතුවෙන් ඔවුහු සිය පැමිණිලි යාපනයේ අනෙකුත් උසස් නිලධාරීන් වෙත ද යොමු කිරීමට පියවර ගෙන ඇත.
හින්දු ජනතාවගේ ඉපැරණි චාරිත්‍රයක් වන මිනී අළු මුට්ටි මුහුදට පා කර හැරීම සඳහා කීරිමලේ මුහුදු තීරයට පැමිණෙන පිරිස්වලින්, මග රැක සිටින මෙම කල්ලිය රුපියල් 2500ක මුදලක් බලහත්කාරයෙන් ලබා ගන්නා බව පැවසේ.
වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව විසින් කීරිමලේ පොකුණ නැරඹීමට සහ දිය නෑමට පැමිණෙන පිරිස්වලින් මෙන්ම වාහනවලින් රුපියල් 100 සිට 250 දක්වා නියමිත ගාස්තුවක් අය කරනු ලබයි. එසේ තිබියදීත්, මෙම කප්පම් කල්ලිය බැතිමතුන්ගෙන් සහ වාහනවලින් අමතර මුදල් බලහත්කාරයෙන් ලබා ගන්නා බව පෙත්සම්වල සඳහන් වේ.
මෙම තත්ත්වය හේතුවෙන් යාපනය කීරිමලේ පුණ්‍ය භූමිය වැඳපුදා ගැනීමට පැමිණෙන ජනතාව දැඩි අපහසුතාවයට හා හිරිහැරවලට ලක්ව සිටිති.







