දිනසේන රතුගමගේ –
යාපනය, කොඩිකාමම් ප්රදේශයේදී අනවසර වැලි ප්රවාහනය කළ ටැක්ටරයක් නැවැත්වීමට උත්සාහ කළ පොලිස් සැරයන්වරයෙකු එම ටැක්ටරයටම යටකර ඝාතනය කිරීමේ පුවතක් වාර්තා වේ.
ඊයේ (28) දින සිදු වූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ හෙට්ටිආරච්චිගේ ඇල්බට් නැමැති 51 හැවිරිදි පොලිස් සැරයන්වරයෙකි. සිද්ධියෙන් තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා තිබේ.
අනවසරයෙන් වැලි පටවාගත් ටැක්ටරයක් පැමිණෙන බවට ලැබුණු තොරතුරක් මත කොඩිකාමම් පොලිසියේ නිලධාරීන් පිරිසක් මාර්ග බාධකයක් යොදා විශේෂ පරීක්ෂාවක නිරතව සිට ඇත. එහිදී පැමිණි ටැක්ටරය නැවැත්වීමට සැරයන්වරයා සංඥා කරමින් ඉදිරියට ගිය අවස්ථාවේදී, රියදුරා ඔහු යටකරමින් ටැක්ටරය ධාවනය කර තිබේ.

අනතුර සිදුකළ රියදුරා වැලි පටවා තිබූ ටැක්ටරය එම ස්ථානයේම දමා පලා ගොස් ඇති අතර, සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් හතරක් මෙහෙයුම් ආරම්භ කර ඇත. කොඩිකාමම් සහ ඒ අවට පොලිස් ස්ථාන එක්ව මේ වන විට පුළුල් සෝදිසි මෙහෙයුමක් ක්රියාත්මක කරයි.
සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර, දේහය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා චාවාකච්චේරී රෝහල වෙත යොමු කර තිබේ.
යාපනයේ වඩමරච්චි, පේදුරුතුඩුව සහ මනල්කාඩු යන ප්රදේශවල සිදුවන මෙම මහා පරිමාණ අනවසර වැලි ජාවාරම දැඩි අවදානම් සහගත තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇත. පසුගිය වසර හතරක කාලය තුළ පමණක් වැලි ජාවාරම්කරුවන්ගේ ප්රහාර හමුවේ පොලිස් නිලධාරීන් 17 දෙනෙකු තුවාල ලබා තිබීම විශේෂත්වයකි.
ජාවාරම්කරුවන් විසින් පොලිස් නිලධාරීන් වාහනවලට යට කිරීම, සවල්වලින් පහරදීම සහ ඇතැම් අවස්ථාවලදී ගිනි අවිවලින් වෙඩි තැබීම පවා සිදුකරන බව වාර්තා වේ. මීට පෙර අවස්ථාවකදී ජාවාරම්කරුවන් විසින් පොලිස් ජීප් රථයකට ටී-56 ගිනි අවියකින් වෙඩි ප්රහාරයක්ද එල්ල කර තිබුණි. මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා පසුගිය වසර හතර තුළ පොලිසිය විසින් අවස්ථා නවයකදී ජාවාරම්කරුවන්ගේ වාහනවලට වෙඩි තබා සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.







