දෙවිනුවර ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදී අද (21) දහවල් සිදුවූ වෙඩි තැබීමකින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු මාතර මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි, ප්‍රදේශවාසීන් අතර “ඩිලයිට්” (Delight) යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 56 හැවිරිදි සිරිල් හෙන්දාවිතාරණ නැමැති මත්ස්‍ය වෙළෙන්දෙකි.
අද දහවල් කාලයේදී ඔහු සුපිරි වෙළඳසැල ඉදිරිපිට මාළු අලෙවි කරමින් සිටියදී අළු පැහැති මෝටර් රථයකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම ප්‍රහාරය එල්ල කර ඇත. පොලිස් විමර්ශනවලට අනුව ඝාතනය සඳහා පැමිණ ඇත්තේ KG 8715 මෝටර් රථයක් බවට සැක පහළ වී තිබේ. වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබූ “ඩිලයිට්” වහාම මාතර මහා රෝහල වෙත රැගෙන ගියද, දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජීවිතක්ෂයට පත්වූ බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි.
වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් ප්‍රහාරයෙන් අනතුරුව එම මෝටර් රථයෙන්ම පළා ගොස් ඇති අතර, ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මෙම වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, පුද්ගලික ආරවුලක් හෝ පාතාල කල්ලි අතර පවතින ගැටුමක් මෙයට මුල් වී ඇත්දැයි යන්න පිළිබඳව ගන්දර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
මගින් ඔහුගේ දුරකථන වාර්තා සහ මෑතකදී ඔහු සමඟ ආරවුල් ඇති කරගත් පුද්ගලයන් පිලිබඳව ද පොලිසියේ අවධානය යොමු වී ඇති අතර සැකකරුවන් පැමිණි අළු පැහැති මෝටර් රථය හඳුනා ගැනීම සඳහා ප්‍රදේශයේ සී.සී.ටී.වී (CCTV) දර්ශන මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් ඇත.
කෙසේ වෙතත් පොලිසියට තොරතුරු ලැබෙමින් ඇත්තේ මියගිය පුද්ගලයා ප්රමුඛ පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන ‘උණාකුරුව ශාන්ත’ සහ ‘දෙවුන්දර තමිල්’ වැන්නවුන් සමඟ සමීප සබඳතා පවත්වා ඇති බවය. දැනට විමර්ශන අංශවල ප්රමුඛ අවධානය යොමු වී ඇත්තේ මෙම ඝාතනය වසර 25ක් පුරා ඇදී ආ පාතාල කල්ලි දෙකක් අතර පැවති වෛරයක ප්‍රතිඵලයක් ද යන්නය.
මීට වසර 25කට පෙර ‘ජුග්ගයා ලාල්’ නැමැති අයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මියගිය ‘ඩිලයිට්’ වෙත එල්ල වී තිබුනු බවත් එම නඩුවට පෙනී සිටීමට ගිය අවස්ථාවක ඔහු ගමන් කරමින් සිටි වෑන් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ලවී තිබුණත් ඔහු එහිදී දිවි ගලවා ගත් බවටත් තොරතුරු ලැබේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගන්දර පොලිසිය සහ මාතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි







