රොයිටර් පුවත් සේවය –
තමන් සමඟ ඇති කරගන්නා න්‍යෂ්ටික ගිවිසුමකට එළඹීමට ඉරානය කටයුතු කළ යුතු බවත්, එසේ නොමැති වුවහොත් “ඉතාමත් නරක අතට” තත්ත්වය හැරෙනු ඇති බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ (20) අනතුරු ඇඟවීය.
මේ සඳහා ඔහු දින 10ත් 15ත් අතර කාලසීමාවක් නියම කර ඇති අතර, ඊට ප්‍රතිචාර දක්වමින් ටෙහෙරානය ප්‍රකාශ කර ඇත්තේ තමන්ට ප්‍රහාරයක් එල්ල වුවහොත් කලාපයේ පවතින ඇමරිකානු කඳවුරුවලට එරෙහිව දැඩි ප්‍රතිප්‍රහාර එල්ල කරන බවය.
මැද පෙරදිග කලාපය තුළ ඇමරිකානු හමුදා ශක්තිය දැවැන්ත ලෙස වර්ධනය කරමින් පවතින පසුබිමක, පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කර ගැනීම සඳහාවන සාකච්ඡා සාර්ථකව සිදුවන බව ට්‍රම්ප් පැවසීය. කෙසේ වෙතත්, ඉරානය “අර්ථවත්” එකඟතාවකට පැමිණිය යුතු බවට ඔහු අවධාරණය කළේය.
“එසේ නොවන්නේ නම් නරක දේවල් සිදුවනු ඇති,” යැයි වොෂින්ටනයේ පැවති සාම මණ්ඩලයේ පළමු රැස්වීමේදී ට්‍රම්ප් පැවසීය. ඔහු මීට පෙරද කිහිප වතාවක්ම ඉරානයට ප්‍රහාර එල්ල කරන බවට තර්ජනය කර තිබුණි.
පසුගිය ජූනි මාසයේදී ඇමරිකාව එල්ල කළ ගුවන් ප්‍රහාර මගින් ඉරානයේ න්‍යෂ්ටික ශක්තිය “සම්පූර්ණයෙන්ම පාහේ විනාශ වූ” බව පැවසූ ට්‍රම්ප්, “අපට තවත් පියවරක් ඉදිරියට තැබීමට සිදුවනු ඇති, නැතහොත් එසේ නොවනු ඇති,” යනුවෙන් ද සඳහන් කළේය.
“ඉදිරි දින 10 ඇතුළත ඔබට ඒ පිළිබඳව දැනගත හැකි වේවි,” යැයි ඔහු පැවසීය. පසුව එයාර් ෆෝස් වන් නිල ගුවන් යානයේ සිට මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, දින 10ක් හෝ 15ක් යනු උපරිම සීමාව ලෙස තමන් සලකන බවය.
ඉරානය කෙසේ හෝ ගිවිසුමකට එළඹිය යුතු බවට නැවත වරක් අනතුරු ඇඟවූ ජනාධිපතිවරයා, තමන් ගන්නා ඉදිරි පියවර කුමක්ද යන්න පිළිබඳව නිශ්චිතව හෙළි කිරීම ප්‍රතික්ෂේප කළේය.

ඉරානයෙන් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට ලියුමක්
මේ අතර, ඉරානය විසින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් වෙත ලිපියක් යොමු කරමින් පවසා ඇත්තේ තමන් කිසිදු යුද්ධයක් ආරම්භ නොකරන නමුත්, තමන්ට එරෙහිව හමුදාමය ආක්‍රමණයක් එල්ල වුවහොත් ස්වයං ආරක්ෂාව සඳහා තීරණාත්මක සහ දැඩි ප්‍රතිචාරයක් දක්වන බවය.
“කලාපය තුළ පවතින සතුරු හමුදාවන්ට අයත් සියලුම කඳවුරු, පහසුකම් සහ දේපළ අපගේ නීත්‍යානුකූල ඉලක්ක බවට පත්වනු ඇති,” යැයි එම ලිපියේ සඳහන් වේ. එමෙන්ම, මෙවැනි තත්ත්වයක් තුළ ඇතිවිය හැකි අනපේක්ෂිත සහ පාලනය කළ නොහැකි ප්රතිඵලවල සම්පූර්ණ වගකීම එක්සත් ජනපදය දැරිය යුතු බවද ඉරානය වැඩිදුරටත් අවධාරණය කර ඇත.
සාකච්ඡා සාර්ථකයි‘: ට්‍රම්ප් පවසයි
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් දෙපාර්ශවය අතර පවතින මතභේද හමුවේ, ට්‍රම්ප් එල්ල කරන බෝම්බ ප්‍රහාරක තර්ජන හේතුවෙන් ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ ගොස් ඇත. මේ අතර, ගෝලීය බලශක්ති සැපයුමේ තීරණාත්මක මුහුදු මාර්ගයක් වෙමින් ලොව සුප්‍රසිද්ධ හෝමුස් සමුද්‍ර සන්ධියට සම්බන්ධ වෙනවා සේම ඉන්දියන් සාගරය සහ පර්සියානු ගල්ෆ් කලාපය යා කරන ප්‍රධාන ද්වාරය වූ ඕමාන් බොක්කේ පැවැත්වෙන ඉරාන නාවික අභ්‍යාස සඳහා රුසියානු යුද නෞකාවක් ද ඊයේ ( 20) එක් විය.
ඉරාන සහ ඇමරිකානු සාකච්ඡාකරුවන් පසුගිය අඟහරුවාදා හමුවූ අතර, එහිදී “මූලධර්ම කිහිපයක්” සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණි බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කළේය. කෙසේ වෙතත්, කරුණු කිහිපයක් සම්බන්ධයෙන් දෙපාර්ශවය තවමත් එකඟතාවකට පැමිණ නොමැති බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලින් ලෙවිට් බදාදා පැවසුවාය.
“යහපත් සාකච්ඡා සිදුවෙමින් පවතිනවා,” යැයි පැවසූ ට්‍රම්ප්, ඇමරිකාවේ අවධානය යොමු වී ඇති කරුණු සම්බන්ධයෙන් ඉරානය ලිඛිත යෝජනාවක් ඉදිරිපත් කරනු ඇතැයි ද සඳහන් කළේය. “සාමයේ මාවතට” එක්වන ලෙස ඔහු ටෙහෙරානයට ඇරයුම් කළේය.
“ඔවුන්ට න්‍යෂ්ටික අවියක් තිබිය නොහැකියි, එය ඉතා සරලයි. ඔවුන් සතුව න්‍යෂ්ටික අවි තිබේ නම් මැද පෙරදිග සාමය පවත්වා ගත නොහැකියි,” ඔහු අවධාරණය කළේය.
තම න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී අරමුණු සඳහා බව ඉරානය දිගින් දිගටම පවසන අතර, ඒ සම්බන්ධයෙන් විශාල සහන ලබා දීමට ඔවුන් මෙතෙක් එකඟ වී නැත. ඇමරිකාව සහ ඊශ්‍රායලය මීට පෙරද ඉරානයට චෝදනා කළේ ඔවුන් න්‍යෂ්ටික බෝම්බයක් නිපදවීමට උත්සාහ කරන බවටයි.
ට්‍රම්ප්ගේ මෙම නවතම යුදකාමී ප්‍රකාශය නිකුත් වූයේ, ලෝක නායකයින්ගේ සහභාගීත්වයෙන් ‘සාම මණ්ඩලය’ ආරම්භ කරමින් ඔහු සිදුකළ දීර්ඝ දේශනයකදීය. ගාසා තීරයේ හමාස් සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය ගෙන යන යුද්ධය අවසන් කිරීමේ සැලසුම ප්‍රකාශයට පත් කරමින් ඔහු පසුගිය සැප්තැම්බරයේදී මෙම මණ්ඩලය යෝජනා කළේය. පසුව ඔහු එහි විෂය පථය ලොව පුරා ගැටුම් දක්වා ව්‍යාප්ත කළ අතර, ඒ හේතුවෙන් බොහෝ බටහිර මිත්‍ර රටවල් එයින් බැහැරව සිටීමට තීරණය කළහ.
මේ අතර, ඉරානය වටා පවතින “නොසන්සුන්කාරී තත්ත්වය පෙර නොවූ විරූ ලෙස උත්සන්න වීම” පිළිබඳව රුසියාව අනතුරු අඟවා ඇති අතර, ඉවසීමෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය. ඇමරිකානු උසස් නිලධාරියෙකු පැවසුවේ කලාපයේ ඇමරිකානු හමුදා ශක්තිමත් කිරීම මාර්තු මැද වන විට අවසන් වනු ඇති බවය.
යුද්ධයේ තර්ජනය

ඉරාන ඉස්ලාමීය ජනරජයට එරෙහිව තවත් ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව ඉහළ නංවමින්, ට්‍රම්ප් විසින් ගුවන් යානා ප්‍රවාහන නෞකා, යුද නෞකා සහ ජෙට් යානා කලාපයට යවා ඇත.
පසුගිය ජූනි මාසයේදී එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ සමහර මිලිටරි ස්ථාන වෙත බෝම්බ හෙලීය. එළඹෙන පෙබරවාරි 28 වනදා ඇමරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු අතර ඉරාන ප්රශ්නය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.
න්‍යෂ්ටික බලාගාර සඳහා ඉන්ධන ලෙස මෙන්ම න්‍යෂ්ඨික අවි සඳහා ද යොදාගත හැකි ‘යුරේනියම් නිපදවීම දියුණු කිරීම’ ඉරානය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බව වොෂින්ටනයේ ස්ථාවරයයි. මීට අමතරව, ඉරානය සතු දිගු දුර බැලස්ටික් මිසයිල අත්හැරීම, මැදපෙරදිග කලාපයේ සන්නද්ධ කණ්ඩායම්වලට සහාය දීම නැවැත්වීම සහ අභ්‍යන්තර විරෝධතා මර්දනය කිරීමට බලය යෙදවීම නතර කිරීම ඇමරිකාවේ සහ ඊශ්‍රායලයේ ඉල්ලීම වී ඇත.
කෙසේ වෙතත්, පරමාණුක කටයුතුවලින් ඔබ්බට ගිය කිසිදු කරුණක් සාකච්ඡා කිරීම ඉරානය ප්‍රතික්ෂේප කරයි. විශේෂයෙන්ම තම මිසයිල අවි ගබඩාව සීමා කිරීමට දරන උත්සාහයන් ඔවුන් හඳුන්වන්නේ ඉක්මවා නොයා යුතු ‘රතු ඉරක්’ ලෙසය.
පසුගිය වසරේ ගිම්හාන කාලයේ සිට ඉරානය තම න්‍යෂ්ටික සහ මිසයිල මධ්‍යස්ථාන ප්‍රතිසංස්කරණය කරන අයුරුත්, පසුගිය මාසය තුළ මැද පෙරදිග පුරා පිහිටි ඇමරිකානු කඳවුරුවල සූදානමත් චන්ද්‍රිකා ඡායාරූප මගින් තහවුරු වී ඇත.
පවතින නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ පෝලන්තය ද තම පුරවැසියන්ට වහාම ඉරානයෙන් ඉවත් වන ලෙස දන්වා ඇති අතර, ඉවත් වීමට ඇත්තේ පැය කිහිපයක් පමණක් විය හැකි බව පෝලන්ත අග්‍රාමාත්‍ය ඩොනල්ඩ් ටුස්ක් පවසා ඇත.
ජනවාරි මාසයේදී ඉරාන බලධාරීන් විසින් එරට පැවති මහජන විරෝධතා ප්‍රචණ්ඩකාරී ලෙස මර්දනය කිරීමත් සමඟ ට්‍රම්ප් නැවතත් ප්‍රහාරක තර්ජන එල්ල කිරීම ආරම්භ කළේය. එම මර්දනයෙන් දහස් ගණනක් මියගොස් ඇති බව වාර්තා වේ.







