ලංකාසර විශේෂ ආරක්ෂක ලියුම්කරු විසිනි –
ආරක්ෂක සේනා මූලස්ථානය ආසන්නයේ දී නීතිඥ බුද්ධික මල්ලවආරච්චි හා ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා තවමත් අත් අඩංගුවට ගෙන නැත. මේ වෙඩික්කරුවන් දෙදෙනා විසින් නීතිඥ වරයාට හා ඔහුගේ බිරිඳට වෙඩි තබන ආකාරය දැක්වෙන සීසීටීවී නිරූපණයන් දකින විට ඒ වෙඩික්කරුවන් හමුදා පුහුණුවක් ලැබූ අයවළුන් බව තහවුරු වේ.
දැනට අනාවරණය වී ඇති ආකාරයට අපරාධය සිදු කර ඇත්තේද මිල්ටෙරි මෙහෙයුමක ස්වරූපයටය. මෙම අපරාධය පිටුපස සාමාන්‍ය මිල්ටෙරි සාමාජිකයන් ගේ මැදිහත්වීමකට වඩා ඉහළ පෙලේ මිල්ටෙරි දායකත්වයක් තිබූ බවට සැක කළ හැකිය. අපරාධ කරුවන් කිසිදු බයක් හැකක් නැතුව ආරක්ෂක සේනා මූලස්ථානය ආසන්නයේ සිය ඉලක්ක පථයන්ට ප්‍රහාර එල්ල කරන්නේ ඒ නිසා දැයි සැකයක් ඇති වේ.
එසේත් නැතහොත් ආරක්ෂක හමුදා සේවාවන්ට සම්බන්ධ නොවන මෙරට වෙනත් සන්නද්ධ සේවාවකට සම්බන්ධ පිරිසක් විසින් “හමුදා විධායකය” හා ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම යටි අරමුණ කර ගනිමින් මේ සැළසුම ක්‍රියාත්මක කර ඇති බවටද සැකයක් ඇතිවේ. අපගේ ඒ සැකය දේශපාලනිකය.
ජාජබ ආණ්ඩුව බලයට පත් වීමත් සමගම සක්‍රීය සේවයේ නිරතව සිටියදී මෙරට සාහසික අපරාධවලට සම්බන්ධ යැයි සැක කළ විශේෂ කාර්ය බළකායේ පිරිසකගේ තටු කපා දැමිනි. ඒ පිරිස ඉන්නේ බලවත් සිතේ අමාරුවෙනි.
එසේම මේ රජයෙන් නෙරපා හැරුණ පොලිස් පති දේශබන්දු ගේ හෙංචයියන් සිටින්නේද ආණ්ඩුව හා ගේමකය. අම්බලන්ගොඩ සිංගර් කෝසල ඝාතනයේ සැකකරුවන් නවාතැන් ගෙන සිටියේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නිවසක බව අනාවරණය කරගත්තේ විමර්ශන අංශ විසිනි. එහෙත් ඒ සම්බන්ධයෙන් හිටපු පොලිස්පති දේශබන්දුගෙන් පොලීසිය කට උත්තරයක්වත් ගත් බවක් නම් මෙතෙක් අනාවරණය වී නැත.
ඝාතකයන්ගේ අපේක්ෂාවට එහා ගිය සැළසුමක් මේ අපරාධය පිටු පස සිට මෙහෙයවූ අයවළුන්ට පැවැති බව අප සඳහන් කරන්නේ මේ පසුබිම මත සිටය. තවදුරටත් මෙය මෙතෙක් කාලයක් මෙරට සිදු කරන ලද අපරාධයන්ට වඩා මිල්ටෙරි සැළසුමකට සිදු කර ඇති නිසාය. සැබැවින්ම මේ අපරාධය පාස්කු ප්‍රහාරය බඳු මෙහෙයුමක් යැයි සිතුවාටද වරදක් නැත. පොලීසියද අපරාධ කරුවන් අල්ලා ගැනීම සඳහා ඉව කරමින් යනවා මිස මේ අපරාධයෙන් අනාවරණය කර ගත හැකි වෙනත් සැක සහිත කරුණු පිළිබඳව අවධානයට ගෙන ඇති බවක් අපට දකින්නට නැත.
මේ ඝාතනය සිදු කරන දිනය වන විට ආණ්ඩුවට එරෙහිව විපක්ෂ වෙතින් චෝදනා කෙරුණේ ජාතික ආරක්ෂාව බිඳ වැටෙමින් පවතින බවටය. විශ්‍රාමික මේජර් ජනරාල් චාගි ගාල්ලගේ විසින් පලාලි යුද මූලස්ථානය ඉවත් කිරීමට ජාජබ ආණ්ඩුව තීරණය කර ඇතැයි පැවසෙන මුසාවාදයක් සමාජ ගත කරමින් ඒ මාතෘකාව ගිනි ඇවිලවීමේ පළමු වෙඩි මුරය තැබුවේය. ත්‍රිකුණාමලය හා යාපනය තිස්ස විහාරය සම්බන්ධයෙන්ද ජනතාව තුළ ආවේගයන් ඇවිස්සිනි. ජාතික ආරක්ෂාව බිඳ වැටෙමින් පවතින බවට ඉතා සියුම් හා කුමන්ත්‍රණකාරීව සමාජ වටපිටාව නිර්මාණය කරමින් තිබුණි. නාමල් රාජපක්ෂගේ මුවින් යන යන තැන කියැවෙන්නේ ජාතික ආරක්ෂාව බිඳවැටීම පිළිබඳ කතාවය. මෙම අපරාධය සිදු කරන්නේ ඒ සමාජ වටපිටාව තුළ බව අප අමතක කළ යුතු නැත.
මෙය හුදකලා සිදුවීමක් ද?
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ පරිදි මේ ඝාතන සිද්ධිය හුදකලා සිදුවීමකි. ඔහුගේ ඒ අරුත් ගැන්වීම අපට සිහිපත් කරන්නේ පාස්කු ප්‍රහාරයට කලින් මඩකලපුවේදී දුරස්ථ පාලකයකින් මෝටර් බයිසිකලයක් පිපිරවීමය. මාවනැල්ල බුදු පිළිම කඩා දැමීමය. අලුත්ගම දර්ගා ටවුමේ ඇති වූ ජාතිවාදී පහරදීම්ය. වවුනතිව් පොලිස් නිළධාරීන් දෙදෙනෙකු මරා දැමීමය. ඇමති ආනන්ද විජේපාල සිතන ආකාරයට සිතන්නේ නම් ඒවාද හුදකලා සිදුවීම්ය.
ආනන්ද විජේපාල ඇමතිවරයා එලෙස පවසන්නට ඇත්තේ පොලීසියෙන් ඔහුට ලැබෙන තොරතුරු අනුව වෙන්නට පුළුවන. එය එසේ වන්නේ නම් නීතිඥවරයා හා බිරිඳ ඝාතනය තවත් එක් අපරාධයක් ලෙස සළකා පොලීසිය පරීක්ෂණ කරන බව සිතිය හැක. අපට ප්රශ්නය ඇත්තේ එතැනය.
අපට හැඟී යන ආකාරයට නම් ජාජබ ආණ්ඩුව බිඳ වැට්ටවීමේ විලි රුදාවෙන් පෙළෙන කාඩරයේ රහස් හස්තය හා මේ ඝාතකයන් අතර සම්බන්ධතාවක් ඇති බවට බරපතල සැකයක් උපදවා ගැනීම සාධාරණය. අප මේ ඝාතකයන් යනුවෙන් අදහස් කරන්නේ වෙඩි තැබීමට සම්බන්ධ වූවන් නොවේ. අප මෙහිදී “කාඩරය” යනුවෙන් සඳහන් කරන්නේ ආරක්ෂක හමුදාවල හා පොලීසියේ සක්‍රීය සේවයේ නිරත ආණ්ඩුව සමග ඇරියස් උන්නැහේලාය. ඒ කවුරුන්ද යන්න අපට නම් වශයෙන් පෙල ගැස්සිය නොහැකිය. ඒ සත්‍යය සොයා ගැනීමට නම් අපරාධයේ ගැඹුරට බැස ගත යුතුය. ආණ්ඩුවට මතක් කර දෙන්නේ සිංගර් කෝසල ඝාතනයට පැමිණි අපරාධකරුවන් රඳවා තබා ගැනීමට කරන්දෙණියේ සුද්දා යොදා ගත්තේ දේශබන්දු තෙන්නකෝන්ගේ නුවර පිහිටි නිවස බවය. දේශබන්දු තෙන්නකෝන් මේ රටේ හිටපු පොලිස්පතිවරයා බවය.
බැද්දේගම දක්වා පැමිණීම
නීතිඥවරයා හා බිරිඳ ඝාතනය කළ සැකකරුවන් බද්දේගම දක්වා කිසිදු අතුරු අන්තරාවක් නැතුව ගමන් කර ඇත. මේ අවධාරණය වන්නේ පොලීසියේ උදාසීන බව නොවේ දැයි ප්‍රශ්න කළ යුතුය. බිහිසුණු අපරාධයක් දිවයිනේ යම් ප්‍රදේශයක සිදු වූ විට මෙරට සෑම පොලිස් ස්ථානයක්ම දැනුවත් කළද ඒ ඒ පොලිස් ස්ථාන මෙවැනි සිද්ධීන් බරපතල විදියට ගණන් නොගන්නා බවට මේ සිද්ධිය හොඳ සාක්ෂියකි. එය හරියටම “කම්මලේ බල්ලා” ගේ ආදර්ශයයි .මෙවැනි අපරාධයක් සිදු වූ මොහොතේ සිට පොලීසි නියාමනය කිරීම සඳහා පොලිස් මූලස්ථානයේ ක්ෂණික විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර තිබුණේ නම් මීට වඩා ප්රතිඵළදායී සේවාවක් අත් කර ගන්නට හැකිය. අවසානයේ දී බැද්දේගම දී හමුවන්නේ සාක්ෂිත් සමග විනාශ වුන මිනීමරුවන් පැමිණි වාහනය ය.

මේ අපරාධයට සම්බන්ධ වූවන් තමන් බළල් අත් බව නොදැන සිටින්නට ඇත. අපරාධය සමිබන්ධ ප්‍රධාන චුදිත පර්ශවයන්ද ඒ බව නොදැන සිටින්නට ඉඩ තිබේ. එහෙත් මෙම සාහසික අපරාධය තුළ පෞද්ගලික පලිගැනීමකට එහා ගිය කියවීමක් තිබෙන බව පෙනෙමින් ඇත. සැකකරුවන් අල්ලා කට උත්තර ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් පමණක් එහි අග මුල විසඳෙනු නැත.
කරන්දෙණිය සුද්දා ප්‍රධාන ජේලර් ජයරත්න තැඹිලි ව්‍යාපාරිකයකු හා තෙලිජ්ජවිල තරුණයකු ඝාතනය කරන්නේ බන්ධනාගාරයේ ඡ්‍යෙෂ්ඨ නිළධාරියෙකු ගේ හා පොලිසියේ ලොක්කන් කිහිප දෙනෙකු ගේ අවශ්‍යතාවට බව මේ වනවිට අනාවරණය වී ඇත. මේ ඝාතන වල පසුබිම විමර්ශනය කරන විට එහි යටි පෙළ කියවා ගත හැකිය. මේ ඝාතනවලට සම්බන්ධ සිල්ලර ඝාතකයන් අල්ලා බන්ධනාගාර ගත කිරීම කෙරුවද ඉන් ඔබ්බට පොලීසිය විමර්ශන කිරීම අත්හැර තිබිණි. මේ ඝාතන කරන්දෙණිය සුද්දාගේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා සිදු වූ ඒවා නොව ඔහු විසින් ලබා ගත් කොන්ත්‍රාත් මිනීමැරුම් බව විමර්ශනවලදී පෙනී ගොස් ඇත. ප්රශ්නය වන්නේ කරණ්දෙණිය සුද්දා හා පොඩි ලැසී ගෙන් මිනිස් ඝාතනයන්ට උදව් උපකාර ගත් පොලිස් හා බන්ධනාගාර පොර වල් තවමත් නිදැල්ලේය.
එලෙසම මේ වන විටත් කරණ්දෙනිය සුද්දාට හා කොස්ගොඩ සුජීට සහයෝගය දක්වන ෆේස් බුක් ෆේක් ගිනුම් කිහිපයක්ම අම්බලන්ගොඩ බළපිටිය කේන්ද්‍රීය කරගෙන යාවත් කාලීන වේ. මේ ෆේස් බුක් ගිනුම් සමහර අවස්ථාවලදී ඝාතනයකට පෙර අදාල පුද්ගලයන් ඝාතනය කරන බවට ඉඟි පවා සපයා තිබුණි. “මාස්ටර් ජෙහාන් ප්‍රනාන්දු”නමින් යාවත්කාලීන වන එවැනා ෆේස් බුක් ගිනුමක නීතිඥවරයාට හා බිරිඳට වෙඩි තැබීම සාධාරණීකරනය කර කරන්දෙණිය සුද්දාට සුබ පතා සටහනක්ද ලියා තිබුණි.
ඒ සටහනේ එක තැනක සඳහන්ව තිබුණේ ඇඟ හිරි වැටෙන සඳහනකි. ඒ නීතිඥ වරයාගේ මොළය ඩෑෂ් බෝඩ් එකේ බවය. මිනිස් ඝාතනයන් දිරි ගන්වන මෙවැනි ෆේක් ෆේස් බුක් ගිනුම් සමාජයට බරපතල හානියක් සිඳු කරමින් තිබේ. එහෙත් මේවා පොලීසියේ සයිබර් ඒකකයේ අවධානයට නොගැනීම ඉතා කණගාටු දායකය. මෙවැනි ෆේක් ගිනුමක් සොයා ගැනීමට තරමේ දක්ෂතාවක් පොලීසියට නැතිනම් ජාතික ආරක්ෂාව ගැන කවර කතා දැයි අපට ප්‍රශ්න කරන්නට සිදුවේ.
අපේ අත් දැකීමක්…
එහිදී අපට ඇති අපූරු අත් දැකීමක් මෙහි සඳහන් කරමු. Cyber news lk නම් අන්තර්ජාල ප්රකාශනය පවත්වාගෙන ගිය පුද්ගලයාට එරෙහිව මේ වන විට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතී. ඔහු චෝදනාවට ලක් වූයේ අධිකරණයට අපහාස කිරීම නිසාය.
පොලීසියේ සයිබර් අපරාධ ඒකකය මගින් අත් අඩංගුවට ගත් මේ සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදා හැර තිබේ. එහෙත් එම අන්තර්ජාල ප්රකාශනය මේ වන විටත් මෙරට විනිසුරුවරුන් ඉතා අශීලාචාර ආකාරයට අපහාස කරමින් සිටී. මෙය පවත්වාගෙන ගිය සැකකරු ප්‍රකාශ කර ඇත්තේ තමන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව තමන්ගේ ඊමේලය හා එහි ප්‍රවේශ විය හැකි රහස් වචනය සයිබර් අපරාධ ඒකකයට හෙළි කිරීමෙන් පසුව තමන්ට එම ප්රකාශනයට ඇතුළු වීමට හැකියාවක් නැති වූ බවය.
සැකකරුගේ එම ප්‍රකාශය සත්‍ය නම් මේ වන විටත් අධිකරණයට අපහාස කරමින් cyber news lk අන්තර්ජාල ප්රකාශනය පවත්වා ගෙන යන්නේ කවුරුන්ද යන්න බරපතල ප්‍රශ්ණයකි. එම අන්තර්ජාල ප්රකාශනයට එරෙහිව නඩුවක් පවතිද්දී මේ වන විටත් එය අධිකරණයට අපහාස කරමින් තව දුරටත් පවත්වා ගෙන යාම ගැන පොලීසියේ සයිබර් ඒකකය අන්ධයන් ලෙස සිටීමද මාරම වැඩකි.

පතුල විනිවිද නොයන්නේ නම්…
අප මේ ලිපියේ සඳහන් කර ඇති අයුරින්ම ආරක්ෂක අංශවල හා පොලීසියේ බොහෝ දුර්වලතාවන් නිසා පාතාල ක්‍රියාකාරීන්ට තවදුරටත් නිදහසේ මිනිස් බිලි ගැනීමට පහසු වී තිබේ. නීතිඥ වරයා හා බිරිඳ ඝාතනයේ ගැඹුරටම බැස විමර්ශනය කිරීම කළ යුතුම දෙයක් බව අප විශ්වාස කරමු. නීතිඥයින් යනු පාතාලයේ ක්‍රියාකාරීන්ට වෙන කුමණ අයෙකුටත් වඩා අවශ්‍ය වෘත්තිකයන්ය. ඒ සම්බන්ධව ඔවුන්ට මූලික අවබෝධයක් තිබුණු බව පසුගිය දශක ගණන පුරාම ඔවුන් ක්‍රියාකළ ආකාරයෙන් පෙනේ. එකිනෙක ප්‍රතිවිරුද්ධ පාර්ශව වෙනුවෙන් එකම නීතිඥවරයා පෙනී සිටීම පාතාලයට ගැටලුවක් වී නම් මේ වනවිට නීතිඥවරු බොහෝ දෙනෙක් පාතාල වෙඩි පහරින් මිය ගොස්ය.
පාතාල මිනීමරුවෙක් තුළ ඇති වී තිබුණ විරසක අවේගයක් ප්‍රයෝජනයට ගෙන ඔහු මෙහෙයවමින් ඔහු ගේ කුලී කල්ලි ලවා මේ ඝාතනය සිදුකිරීමේ ඉඩක් යම් පාර්ශවයකට තිබුණාද නැද්ද යන්න දක්වා මානයකට මේ විමර්ශන විහිදී යෑම වැදගත් බව අපගේ යෝජනාවය. ඝාතනය සිදුවන්නේ අකුරේගොඩදී ය. එම ඝාතන ස්ථානය තේරීම අහම්බයක් ද?. බද්දේගමට නිදහසේ පලා යෑමට ඝාතකයින්ට හැකි වී ඇත. ඔවුන් සාක්ෂි විනාශ කරමින් අතුරුදහන් වීම හුදකලා සිද්ධියක් ද?. හෙළිදරවුවන කරුණු අනුව දැන් අත් අඩංගුවට ගෙන ඇති සූපිං කෑලි මේ අපරාධයේ වෙඩික්කරුවන් පවා දන්නවාදැයි සැකය.
බරපතල අපරාධ සැකසෙන්නේ බොහෝ විද්‍යාත්මක සැලසුම්වල සිටිමින් බවට ඔප්පු වූ පාස්කු ප්‍රහාරයේ අත්දැකීම් ලද ජාතියක් ඉන් පාඩම් ඉගෙන නොගන්නේ නම් ආණ්ඩුවට බරපතල ඛේදවාචකයකට මුහුණ දීමේ වැඩි සම්භාවිතාවක් ඇති බව අනතුරු ඇඟවීම පුරවැසියන් ලෙස සිදුකරමු.







