කිසිවෙකුගේ බියගැන්වීම්වලට බයේ තීන්දු තීරණ නොගන්නා බවත් දම්වැලක පුරුක් ලෙස දාමයක කටයුතු කරන ලෙස සෑම පුරුකක්ම වැදගත් නමුත් එම වැදගත්කම සම්බන්ධව තක්සේරුවක් ඇතිව වැඩ කරන ලෙස දන්වා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස කීවේය. ඔහු ඒ බව ප්‍රකාශ කළේ සෞඛ්‍ය කළමනාකරණ සහකාරවරුන් පිරිසකට පත් වීම් ලිපි ප්රදානය කිරීමේ උත්සවයකට ඊයේ (27) එක්වෙමිනි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කරන්නේ රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මේ වනවිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ආරම්භ කර පවත්වාගෙන යමින් සිටින අතරතුරය.
රෝහල්වල නැති ඖෂධ බාහිර මිලදී ගැනීම් සඳහා නියම නොකිරීම, රෝහල්වල නැති රාසායනාගාර පරීක්ෂණ බාහිර රසායනාගාරවලින් සිදුකර ගැනීමට නියම නොකිරීම, වෛද්‍යවරුන් අනුමත කරගෙන නැති රෝහල් පද්ධතියේ නව ඒකක ආරම්භ නොකිරීම, සෞඛ්‍ය කඳවුරු සහ සායනවලට සහභාගී නොවීම, රෝගියා පරීක්ෂා කිරීමට සහායක නිලධාරීන් නැතිනම් සේවා වලින් ඉවත්වීම මෙම දීප ව්‍යාප්ත වැඩ වර්ජනයේ ස්වරූපයයි.
රාජ්‍ය සේවයට ඇතුළත් වෙනකොටම ඔබ හිත හදාගන්නට ඕන මේකේ වගකීම, භාරදූර භාවය පිළිබඳව. ඊට කලින් ගතකරපු සාමාන්‍ය ජීවිතයම ගත කරමින් සියලු දේවල්වලට නිදහසට කාරණා ලබා දෙමින් යන ගමනක් රාජ්‍ය සේවය ඇතුළෙ යන්න බෑ. එහෙමනම් රාජ්‍ය සේවයට එන්නේ නැතිව ඉන්න ඕන.
මේක සෙල්ලමක් නෙමෙයි. අප රට ගැන වගකීමක් භාරගෙන තියනවා අපි සියලු දෙනාම. අපි සියලු දෙනාම මහජන සේවකයො. රාජ්‍ය සේවකයො. එහෙමනම් ඒ වගකීම ඒ ආකාරයෙන්ම ඉෂ්ඨ කරන්න ඕන.
හැබැයි මෙහෙමත් එකක් මතක තබාගන්නට ඕන. දැන් ලෝකයට අපි හැම දෙනාම වැදගත්. අපි නැතිනම් ලෝකෙ දුවන්න බෑ කියලත් හිතන්න එපා. එහෙම නෑ. මම නැතත් වෙන කවුරු නැතත් ඒ තැනට වෙන කෙනෙක් ඒවි. ලෝකය ඉස්සරහට යනවා. හැබැයි යම් ක්‍රියාවලියක් කරන් යනකොට ඒ දම්වැලේ පුරුක වැදගත් වෙනවා. එහෙම නැතිනම් ඒකට ආදේශවන මොනවා හරි ක්‍රමයක් ලෝකය විසින් හදා ගන්නවා.
ඒ නිසා අපි වැදගත් තමයි. හැබැයි ඒ වැදගත්කම සම්බන්ධව තක්සේරුවක් ඇතිව වැඩ කරන්න ඕන. රජය අපි ඔබට දෙන්න පුලුවන් හැම පහසුකමක්ම දෙනවා. මීට වැඩිය වැඩි පඩි යුරෝපයේ තියනවා මීට වඩා පහසුකම් තියනවා, ඒ නිසා අපි යනවා… ඒ නිසා බයට පඩි වැඩි කරලා දෙන්න… ඒවට නම් යට වෙන්නේ නෑ.
ලංකාවේ මේ දුෂ්කරතාවයන් දරාගෙන මේ ආර්ථිකය තේරුම් අරගෙන අපේ රටේ නිදහස් අධ්‍යාපනය ඇතුළෙ ප්රතිලාභ ලබපු රට වෙනුවෙන් වැඩ කරන්න ඇත්තටම ඉතිරිවෙන අයට දෙන්න පුලුවන් සියලුම පහසුම් ඉදිරියේ දි ලබා දෙනවා.
හැබැයි කවුරුහරි අපට තර්ජනය කරන්න එනවා නම් මේක නුදුන්නොත් රට දාලා යනවා කියන කට්ටිය ඒ අයට මොනවා දුන්නත් දාලා යනවා. මේ වෙලාවේ දාලා යනවා කියලා ඉල්ලගත්තොත් ආයේ ටිකක් කල් ගිහින් දාලා යනවා කියලා කියන්න පුලුවන්. එහෙම අයට නෙමෙයි සලකන්නේ රට ඇතුළෙ ඉඳගෙන වැඩ කරන අයට.







