කපිල කේ. හීනටියන –
මේ යෝදයාට නම් ඉන්තීරුවෙන්ම පිස්සුය. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැන් ප්‍රකට කරමින් ඇති හැසිරීම අප දන්නා ඕනෑම පුද්ගලයෙක් වෙත ආරෝපනය කළහොත් අප ඔහුව නවත්වන්නේ මනෝ ප්‍රතිකාර ඒකකයකය.
පසුගිය සති අන්තයේ යුරෝපීය මිත්‍ර රටවලට පැනවූ තීරුබදු තර්ජනවලට අමතරව, ට්‍රම්ප් විසින් නෝර්වේ අගමැති ජොනස් ගාර් ස්ටෝර් වෙත ඊයේ සවස (18) පණිවිඩයක් යවන්නේය. ඔහු එම පණිවිඩයේ සඳහන් කරන්නේ නොබෙල් සාම ත්‍යාගය තමන්ට ලැබීම ප්‍රතික්ෂේප කිරීම නිසා එක්සත් ජනපද අවශ්‍යතා අනුගමනය කිරීමට තමාට නිදහස ලැබුණ බවත්, එය ඩෙන්මාර්කයේ ස්වෛරීභාවය ප්‍රතික්ෂේප කිරීම සහ ග්‍රීන්ලන්තයේ ඇමරිකානු පාලනය සඳහා බලපෑම් කිරීම සාධාරණීකරණය කිරීමට තමන් භාවිතා කළ බවත්ය.
ට්‍රම්ප් මේ අඟවන්නේ ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් තමන් කරන ඉල්ලීම් සහ තමන්ට නොබෙල් සාම ත්‍යාගය හිමි නොවීම අතර සම්බන්ධයක් ඇති බවය.
රොයිටර් පුවත් සේවය විසින් නිරීක්ෂණය කරන ලැබූ ඊයේ දින යවන ලද එම සම්පූර්ණ පණිවිඩය සහ එහි සිංහල පරිවර්තනය මෙසේය:

“හිතවත් ජෝනාස්,
යුද්ධ 8ක් සහ තවත් බොහෝ දේ නතර කිරීම වෙනුවෙන් මට නොබෙල් සාම ත්‍යාගය ලබා නොදීමට ඔබේ රට තීරණය කළ බැවින්, තවදුරටත් සාමය ගැනම පමණක් සිතීමට මා බැඳී සිටින බවක් මට නොහැඟේ. සාමය සැමවිටම ප්රමුඛත්වයෙහි පවතිනු ඇති නමුත්, දැන් මට ඇමරිකා එක්සත් ජනපදයට යහපත් සහ සුදුසු දේ ගැන සිතිය හැකිය.
ඩෙන්මාර්කයට එම භූමිය (ග්‍රීන්ලන්තය) රුසියාවෙන් හෝ චීනයෙන් ආරක්ෂා කළ නොහැක. අනික, ඇත්ත වශයෙන්ම ඔවුන්ට ඒ සඳහා “අයිතිවාසිකමක්” ඇත්තේ ඇයි? ඒ සම්බන්ධයෙන් කිසිදු ලිඛිත ලේඛනයක් නොමැත; ඇත්තේ මීට වසර සිය ගණනකට පෙර එහි බෝට්ටුවක් ගොඩබෑම පමණි, නමුත් අපේ බෝට්ටු ද එහි ගොඩබස්වා ඇත.
නේටෝ (NATO) සංවිධානය පිහිටුවූ දා සිට එහි පැවැත්ම වෙනුවෙන් ඕනෑම පුද්ගලයෙකුට වඩා වැඩි යමක් මම කර ඇත්තෙමි. දැන්, නේටෝව එක්සත් ජනපදය වෙනුවෙන් යමක් කළ යුතුය. ග්‍රීන්ලන්තය පිළිබඳ සම්පූර්ණ සහ පූර්ණ පාලනය අප සතු වන තෙක් ලෝකය සුරක්ෂිත නොවේ.
ස්තූතියි! ජනාධිපති ඩී.ජේ.ටී (DJT)”
නොර්වේ අගමැති ජෝනාස් ගාර් ස්ටෝර් (Jonas Gahr Støre) තමාට මෙම පණිවිඩය ලැබුණු බව අද (19) තහවුරු කළේය. ඔහු පවසා සිටියේ, ග්‍රීන්ලන්තය සම්බන්ධයෙන් යුරෝපීය මිත්‍ර රටවලට තීරුබදු පැනවීමට ගත් තීරණයට විරෝධය පළ කරමින් තමා සහ ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් (Alexander Stubb) විසින් ට්‍රම්ප් වෙත යවන ලද කෙටි පණිවිඩයකට ප්‍රතිචාරයක් ලෙස මෙය ලැබුණු බවයි.

නොර්වේ අගමැතිගේ ප්‍රතිචාරය
නෝර්වේ අගමැති ජෝනාස් ගාර් ස්ටෝර් (Jonas Gahr Støre) විසින් ට්‍රම්ප්ගේ එම පණිවිඩයට ලබා දුන් ප්‍රතිචාරය ඉතා සංයමයකින් යුක්ත වූ අතර, ඔහු නෝර්වේ රාජ්‍යයේ රාජ්‍යතාන්ත්‍රික ස්ථාවරය නොවෙනස්ව තහවුරු කළේය.
එය සාරාංශ කළහොත් ග්‍රීන්ලන්තයේ අයිතිය පිළිබඳ අගමැති ස්ටෝර් ඉතා පැහැදිලිව ප්‍රකාශ කළේ ග්‍රීන්ලන්තය යනු ඩෙන්මාර්ක රාජධානියේ (Kingdom of Denmark) කොටසක් බවය. නෝර්වේ රාජ්‍යය ඒ සම්බන්ධයෙන් ඩෙන්මාර්කයට ලබා දෙන සහයෝගය කිසිලෙසකත් වෙනස් නොවන බව ඔහු අවධාරණය කළේය.
එමෙන්ම ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමේ තීරණයට විරුද්ධත්වය ප්‍රකාශ කරමින් ස්ටෝර් සඳහන් කළේ, යුරෝපීය මිත්‍ර රටවල් සමඟ පවතින වෙළඳ සබඳතා තර්ජන මගින් පාලනය නොකළ යුතු බවයි.
නොබෙල් සාම ත්‍යාගය පිළිබඳව ද අගමැතිවරයා ට්‍රම්ප් වෙත පැහැදිලි කිරීමක් කළේය. ට්‍රම්ප් තම පණිවිඩය මගින් නොබෙල් ත්‍යාගය සම්බන්ධයෙන් පෞද්ගලික අතෘප්තියක් ප්‍රකාශ කළද, නෝර්වේ අගමැතිවරයා ඒ පිළිබඳව සෘජුව වාද කිරීමට ගියේ නැත. ඔහු පෙන්වා දුන්නේ නොබෙල් සාම ත්‍යාගය ලබා දීම තීරණය කරන්නේ නෝර්වේ රජය නොව, ස්වාධීන නොබෙල් කමිටුවක් විසින් බවයි. නෝර්වේ රජයට නොබෙල් කමිටුවේ එම තීරණ සඳහා මැදිහත් වීමට නීත්‍යානුකූල බලයක් නොමැති බව මෙහි සැඟවුණු අදහසය.

නොර්වේ රාජ්‍ය නොබෙල් සාම ත්‍යාගය ප්රදානය කරන ආකාරය
ඩොනල්ඩ් ට්‍රම්ප් අවස්ථා ගණනාවක දී නොබෙල් සාම ත්‍යාගය ලබා ගැනීම සඳහා ප්‍රසිද්ධියේම උත්සාහ කළේය. එහි නොනිල බලපෑමක ස්වරූපයක් ද තිබිණි. ට්‍රම්ප්ගේ උත්සාහය නොතකා හැරීමට නොබෙල් කමිටුව තීන්දු කළේය. එම ප්‍රතික්ෂේප කිරීම ද ට්‍රම්ප් ගේ දැඩි දෝෂ දර්ශනයට ලක් විය.
ට්‍රම්ප් කුමන ආකාරයේ චෝදනා කළත් නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම නෝර්වේ රජයට කළ හැකි දෙයක් නොවන නොර්වේ රජය පැහැදිලි කර තිබිණි.
“නොබෙල් සාම ත්‍යාගය පිරිනමනු ලබන්නේ රජයෙන් ස්වාධීන වූ “නෝර්වේ නොබෙල් කමිටුව” (Norwegian Nobel Committee) මගින් බව මා කිහිප වතාවක්ම ට්‍රම්ප්ට පවසා තිබෙනවා…” නෝර්වේ අගමැති ජෝනාස් ගාර් ස්ටෝර් ප්‍රකාශ කර ඇති ආකාරය රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. ට්‍රම්ප් තම ඉච්ඡාභංගත්වය දැන් ප්‍රකාශ කරන්නේ ලෝක සාමයට තර්ජනය කරමිනි.
පසුගිය වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වූයේ වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා කොරිනා මචාඩෝ (Maria Corina Machado) වෙතය. පසුගිය සතියේ ධවල මන්දිරයේ පැවති හමුවකදී මචාඩෝ සිය රන් පදක්කම ට්‍රම්ප් වෙත ලබා දුන්නාය. ට්‍රම්ප් එය මහත් ප්‍රීතියෙන් භාර ගත්තේය. එහෙත් නෝර්වේ නොබෙල් කමිටුව පැවසුවේ මෙම ත්‍යාගය වෙනත් අයෙකුට පැවරීමට, හවුලේ භුක්ති විඳීමට හෝ අවලංගු කිරීමට නොහැකි බවයි.
ස්වාධීන නොබෙල් කමිටුව සමන්විත වන්නේ නෝර්වේ පාර්ලිමේන්තුව මගින් පත් කරනු ලබන පස් දෙනෙකුගෙනි. වර්තමාන කමිටුවේ නායකත්වය දරනු ලබන්නේ ප්රකාශනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ‘PEN International’ සංවිධානයේ නෝර්වේ ශාඛාවේ ප්‍රධානී ජෝර්ගන් වොට්නි ෆ්‍රයිඩ්නස් (Joergen Watne Frydnes) විසිනි.
නොබෙල් ත්‍යාගය ප්රදානය කිරීමේ පදනම නිර්මාතෘ ඇල්ෆ්‍රඩ් නොබෙල්ගේ අන්තිම කැමැත්තට අනුව, සාම ත්‍යාගය පිරිනැමිය යුත්තේ “ජාතීන් අතර සහෝදරත්වය වර්ධනය කිරීමට, ස්ථාවර හමුදාවන් ඉවත් කිරීමට හෝ අඩු කිරීමට සහ සාම මහා මණ්ඩල පිහිටුවීමට හා ප්‍රවර්ධනය කිරීමට උපරිම හෝ හොඳම මෙහෙවරක් ඉටු කළ පුද්ගලයාටය.”
ඒ පුද්ගලයා ට්‍රම්ප් නොවන බව නාඩි වැටෙන මේ ලෝකයේ ඕනෑම මනුස්සයෙක් දන්නේය. නොබෙල් සාම ත්‍යාගය නොලැබිමේ වේදනාවද සහිතව හොඳින් හෝ නරකින් ග්‍රීන්ලන්තය අමරිකා එක්සත් ජනපදයට ලබා ගන්නා බවට ට්‍රම්ප් දැන් යුරෝපා සංගමයට සහතික කර ප්‍රකාශ කර අවසානය.
එක් දෙයක් කිව යුතුය. ජන මතයෙන් පත්වන රාජ්‍ය නායකයෙක් ඒ රාජ්‍යයේ බහුතරයේ චින්තන ස්වරූපයේ මධ්‍යස්ථය නිරූපණය කරන්නේය. අපට කල්පනා වෙන්නේ අපට මෙහෙම හිරිකිත නම් ඇමරිකානුවන්ට විලි ලජ්ජා හිතෙන්නේ නැතිද කියාය.







