අසේල කුරුළුවංශ –
ඔස්ට්‍රියාවේ රැකියාවන නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් මුහුණ පොත ඔස්සේ හඳුනාගෙන විවාහ කර ගන්නා බවට පොරොන්දු දී ඇය සතු රුපියල් එක්කෝටි දාහත් ලක්ෂ තිස් හතර දහසක (1173400) මුදලක් වංචා කළ බව කියන ගුවන් හමුදා නිලධාරියෙකු තෙල්දෙණිය කොට්ඨාස අපරාධ විමර්ශන අංශය මගින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
අත්අඩංගුවට ගත් ගුවන් හමුදා නිලධාරියා අම්පාර ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරන බව පොලීසිය පවසයි.
මහනුවර උඩතලවින්නේ පදිංචි අදාළ තරුණියගේ මව විසින් පසුගිය දෙසැම්බර් මස 29 වැනි දින කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශන කළ පොලීසිය සැකකරුගේ ගිණුම් තොරතුරු පරීක්ෂා කිරිමෙන් පසු මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරු අදාළ තරුණිය විවාහ කර ගන්නා බවට පොරොන්දු දී ඇය සතු මුදල් ලබා ගැනීමෙන් පසු විවාහ නොවී මග හරමින් නැවත ලබා දීමද ප්‍රතික්ෂේප කර තිබෙන බව පැමිණිල්ලේ සඳහන්ව ඇත.
අත්අඩංගුවට ගත් ගුවන් හමුදා නිලධාරියා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට පසුගිය 13 වැනිදා ඉදිරිපත් කර තිබේ. එහිදී රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැර තිබෙන සැකකරුට යළි අප්‍රේල් මස 27 වැනි දින අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇත.







