ත්‍රීකුණාමලය – සමන් මල්ලවආරච්චි –
-
ගිහි 05 දෙනාගෙන් සිවු දෙනෙක් බන්ධනාගාරය තුළ සත්‍යග්‍රහයක….
ලබන 19 වැනිදා දක්වා දින 05ක් රක්ෂිත බන්ධනාගාරගත කළ පූජ්‍ය බලංගොඩ කස්සප සහ ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස යන හිමිවරුන් බන්ධනාගාරය තුළ උපවාසයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
බන්ධනාගාරගත වූ සම්බුද්ධ ජයන්ති විහාරයේ දායක සභාවේ ලේකම් විදුරංග ලොකු ගලප්පත්ති ,හිටපු නාගරික මන්ත්‍රීනි එක්සත් ජාතික පක්ෂ සංවිධායිකා එම්.එච්.දිපානි ලියනගේ, ව්‍යාපාරික තිලක් පෙරේරා, එන්.සී. පියල් හේමසිරි හා දුලාර ගුණතිලක යන අය බන්ධනාගාරය තුළ සත්‍යග්‍රහයක් ආරම්භ කර ඇතැයි ද එම ආරංචි මාර්ග කියයි.
මෙම හිමිවරුන් දෙනම මේ වනවිට තමන්ට පිරිනැමෙන දාන වේල ප්‍රතික්ෂේප කර ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
භික්ෂූන් වහන්සේ 04 නමක්, ඇතුළු 09 දෙනෙක් ඊයේ (14) දිනයේ දී මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන්නේ ලබන්නේ 2025 දෙසැම්බර් 12 දා රටේම ආන්දෝලනයක් ඇති කළ ත්‍රී කුණාමලයේ බුද්ධ ප්‍රතිමාවක් තැන්පත් කිරීමට අදාල සිද්ධිය සම්බන්ධවය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියම වූ හිමිවරුන් අතර ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරාධිපති පූජ්‍ය ත්‍රිකුණාමලයේ කල්‍යාණවංශ තිස්ස, වනවාසී බලන්ගොඩ කස්සප හිමිවරුන් සමග ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරී බොරලුකන්ද රජමහා විහාරාධිකාරී පූජ්‍ය ත්‍රිකුණාමලයේ සුඛිතවංශ තිස්ස සහ ත්‍රිකුණාමලය ආනන්දාරාම (ගිරිහඩු සෑය ශාඛාව) විහාරවාසි පූජ්‍ය ත්‍රිකුණාමලය නන්ද යන හිමිවරු ද වූහ.
වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ පනතේ 14 (01) වගන්තිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් එම පනතේ 28(01) වගන්තිය ප්‍රකාරව වෙරළ කලාපය තුළට අනවසරයෙන් ඇතුල්වී වලංගු බලපත්‍රයක් නොමැතිව අනවසර ඉදිකිරීමක් සිදුකර බුදුපිළිමයක් තැන්පත් කිරීම මත පොලිසිය අධිකරණයට චෝදනා ගොනු කර තිබිණි.
ත්‍රිකුණාමලය පොලිස් අධිකාරි ජේ.එල් අජිත් කුමාර, වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සසන්ක සමරසිංහ යන නිලධාරීන් අධිකරණයේ පෙනී සිටිමින් වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන්ට එරෙහිව බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කළහ.
මේ අවස්ථාවේ දී චූදිතයින් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ ස්වාමින්වහන්සේ ඇතුළු පිරිසට ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසය.
මෙහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ප්‍රකාශ කළේ පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අදාල පනත ප්‍රකාරව මෙම අධිකරණයට ඇප ලබාදීමට බලයක් නැති බවය. ඇප අයදුම්පත ඒ හේතුවෙන් ප්‍රතික්ෂේප විය.







