මනම්පිටිය නිමල් ජයරත්න –
කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනය කරමින් තිබූ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් දිඹුලාගල ප්රදේශයේ දී පාර හරහා මාරු වූ වන අලියෙකුගේ ජීවිතය බේරා ගැනීමට ගොස් ඊයේ (14) රාත්රි 11.30 ට පමණ අනතුරට ලක් වී තිබේ.
මාර්ගයෙන් ඉවතට පැන සිදු වූ අනතුරෙන් රියැදුරු සීරීම් තුවාල ලබා මනම්පිටිය රෝහලට ඇතුළත් කර ඇති බව මනම්පිටිය පොලිසිය කියයි.
වන අලියෙකු මාර්ගය හරහා ගමන් කරන විට එම වන අලියා බේරා ගැනීමට ගත් උත්සාහයේදී බස් රථය මාර්ගයෙන් ඉවතට ගැනීමට සිදුවූ බව රියැදුරු සහ කොන්දොස්තරවරයා පොලිසියට පවසා ඇති බවද ඒ සම්බන්ධ පරීක්ෂණ සිදු කරන මනම්පිටිය පොලිසිය සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරයා සමග තවත් මඟින් තිදෙනකු පමණක් සිට ඇති බව මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී.ආරියරත්න අප කළ විමසීමකදී පැවසීය.
අනතුරු සිදුවූ බස් රථය පොලිස් භාරයට ගෙන ඒ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදු කරන බවද මනම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කීවේය.
මනම්පිටිය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක,පී,ජී.ඒ.සී. ආරියරත්නගේ උපදෙස් මත රථ වාහන අංශයේ පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරයි.







