සැක කටයුතු ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට රැඳී සිටි කමාන්ඩෝ සෙබලුන් දෙදෙනා සතුව තිබී හමුවූ ස්නයිපර් ගිනි අවිය වෙනත් අපරාධයක් සඳහා භාවිතා කර තිබේදැයි පරීක්ෂා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
ඒ එම සිදුවීමට අදාල නඩුව අද කොටුව වැඩ බලන මහේස්ත්‍රාත් කසුන් දසනායක ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී ය.
රජයේ රස පරීක්ෂකවරයාගේ පරීක්ෂණ අවසන් වූ පසුව රුපියල් ලක්ෂ දෙකක බැඳුම්කරයක් මත ශ්‍රී ලංකා යුද හමුදාව වෙත මුදා හරින ලෙස කොටුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අද නියෝග කළේය.
එම නියෝගයේ සඳහන් වන්නේ ස්නයිපර් අවිය අවශ්‍ය වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට යුද හමුදාව කටයුතු කළ යුතු බවය.
ස්නයිපර් අවිය රුපියල් ලක්ෂ 62ක වටිනාකමකින් යුතු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට මාර්ගයේ හාබර් මාස්ටර් කාර්යාලයට ඇතුළුවන වරාය ගේට්ටුව ආසන්නනයේ දී ස්නයිපර් අවියක් සමග සැක කටයුතු දෙදෙනෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගනු ලබන්නේ පසුගිය ඉරිදා දිනයේ ය.
සිවිල් ඇදුමින් සැරසී සිටි මේ පුද්ගලයින් දෙදෙනා කළු රෙදි කැබැල්ලකින් ආවරණය කර අදාල අවිය ලඟ තබාගෙන සිටි බවත් අනන්‍යතාවය තහවුරු කළ හැකි කිසිම ලේඛනයක් ඔවුන් සතුව නොතිබුණ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
ස්නයිපර් වර්ගයේ ගිනි අවි ඉලක්ක කරගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ඉලක්ක කරගෙන ප්‍රහාර එල්ල කිරීමේ සූදානමක් පිළිබඳව ඒ වනවිට බුද්ධි තොරතුරු ලැබී තිබුණු බැවින් මෙම සැකකරුවන් පරීක්ෂා කර අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසුවේය.
පසුගිය සඳුදා අදාල සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ යුද හමුදාවෙන් ද නීතිඥවරයෙක් අධිකරණයට ඉදිරිපත් වුනේය. එම නීතිඥවරයා පැවසුවේ යුද හමුදා කමාන්ඩෝ සෙබලුන් දෙදෙනෙක් වන සැකකරුවන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවට පෙර වරාය පරිශ්‍රය තුළ ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ පෙරහුරුවක යෙදී සිටි බවය. මෙම විශේෂ පුහුණුව සඳහා යොමු වී සිට ඔවුන් වරාය පරිශයෙන් පිටවී එන අවස්ථාවේ දී පිටවිය යුතු ගේට්ටුව වසා තිබුණු නිසා වෙනත් මාර්ගයකින් පැමිණෙන විට අත් අඩංගුවට පත් වී ඇතැයි නිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
ඔහු අධිකරණයට කියා සිටියේ ස්නයිපර් අවිය ලඟ තබා ගැනීමට ඔවුන්ට අනුමැතිය තිබූ බවය.







