ලංකා විදුලි බල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා තිබුණේ මේ වසරේ පළමු කාර්තුව සඳහා විදුලිය ගාස්තුව සියයට 11.57කින් වැඩි කිරීමටය.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලි ගාස්තු වැඩි නොකිරීමට තීරණය කර ඇත්තේ කරුණු කීපයක් සලකා බැලීමෙන් අනතුරුවය. විධිමත් යෝජනාවක් නිශ්ඡිත කාලයට පෙර ඉදිරිපත් නොකිරීම, මුල් යෝජනාවේ දෝෂ සහිත බව සහ මෙම කාර්තුව සඳහා ඉදිරියේ දී නව යෝජනාවක් ලංවිම විසින් ඉදිරිපත් කරනු ලැබුවද කාාර්තුවේ ඉතිරි කෙටි කාලයක් සඳහා සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ඉහළ ප්‍රතිශතයකින් ගාස්තු වෙනස් වීමේ අවාසිය ආදී කරුණු සලකා බැලීමෙන් අනතුරුවය.
2026 ජනවාරි සිට මාර්තු දක්වා සදහා වූ ගාස්තු සංශෝධන යෝජනාව පසුගිය වර්ෂයේ නොවැම්බර් 14 වැනි දින වන විට ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව විසින් එම වර්ෂයේ ඔක්තෝබර් මාසයේදී ලිපියක් මගින් ලංවීමට දන්වා තිබුණු නමුත් 2026 පළමු කාර්තුව සදහා ලංවීම සිය යෝජනාව ඉදිරිපත් කර තිබුණේ 2025 දෙසැම්බර් 29 වැනි දින බව මහජන උපයෝගීතා කොමිසම මේ සම්බන්ධව නිකුත් කළ නිවේදනයේ පෙන්වා දෙයි.
එම යෝජනාවේ පැවති දෝෂ හේතුවෙන් නිසි යෝජනාවක් 2026 ජනවාරි 8 වැනි දිනට පෙර ඉදිරිපත් කරන ලෙස කොමිෂන් සභාව 2026 ජනවාරි 5 වැනි දින ලංවීමට දන්වා සිටි නමුත් නිවැරැදි කරන ලද යෝජනාව ඉදිරිපත් කිරීමට තවදුරටත් ප්‍රමාද වන බව ලංවීම විසින් 2026 ජනවාරි 8 වැනි දින කොමිෂන් සභාවට දන්වා ඇති බව එහි දැක්වේ.
මේ දක්වා සංශෝධිත යෝජනාවක් කොමිෂන් සභාව වෙත ලැබී නොමැති අතර එම යෝජනාව ලැබීමෙන් අනතුරුව සමාලෝචනය හා මහජන උපදේශන වලින් පසුව ක්‍රියාවට නගනු හැකි වනුයේ 2026 පළමු කාර්තුවේ අවසන් කාල පරිච්ඡේදය සඳහා බැවින් කාර්තුවේ කෙටි කාලයක් සඳහා ආදායම් හා වියදම් වෙනස්කම් ගැලපීමෙන් සංපේක්ෂව ඉහල ප්‍රතිශතයකින් විදුලි ගාස්තු වෙනස් විය හැකි බව නිරීක්ෂණය වී ඇති බවත් එය ජාතික ආර්ථිකයට වඩා අහිතකර ලෙස බලපා හැකි බවත් මහජන උපයෝගීතා කොමිසම දන්වයි.
ඒ අනුව වලංගු ගාස්තු සංශෝධනයක් නිසි කලට ඉදිරිපත් නොකිරීම හා කාර්තුවේ කෙටි කාලයක් සඳහා ගාස්තු සංශෝධනයක් ක්‍රියාවට නැගීමෙන් ආර්ථිකයට ඇති විය. අහිතකර බලපෑම් සළකා බැලීමෙන් අනතුරුව පළමු කාර්තුව සදහා විදුලි ගාස්තු සංශෝධනයක් ක්‍රියාත්මක නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් තීරණය කර ඇත.
එමෙන්ම 2026 දෙවන කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධන යෝජනාව 2026 පෙබරවාරි මස 13 වැනි දින හෝ ඊට පෙර ඉදිරිපත් කරන ලෙසද කොමිෂන් සභාව විසින් ලංවීමට දන්වා තිබේ.
අදාල නිවේදනය පහත දැක්වේ.








