ගාල්ල මහ නගර සභාවේ ඊයේ (30) පැවති විශේෂ මහා සභා රැස්වීමේ දී නොසන්සුන්කාරී ලෙස හැසිරෙමින් නාගරික ලේකම්වරිය ඇතුළු නිලධාරී මණ්ඩලයට ජල ප්‍රහාර එල්ල කර සාපරාධී බලහත්කාරය පා රාජකාරියට බාධා කළ ගාල්ල මහ නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක්, පොදුජන එක්සත් පෙරමුණේ නාගරික මන්ත්‍රිවරියක් සහ සමගි ජන බලවේගයේ නාගරික මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඇතුළු මන්ත්‍රීවරුන් 05 දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.
ඔවුන්ගේ ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අද (31) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ඊයේ (30) දින නගරාධිපතිවරයා සභාව ආරම්භ කර කාරක සභා අවස්ථාව ප්‍රකාශ කිර්‍රමත් සමඟ සභා ලේකම්වරිය ඇතුළු නිලධාරීන් වටකරගෙන මැරයින් සේ ඔවුන්ට බැණ වැද බියවද්දමින් ජල ප්‍රහාර එල්ල කරමින් අතිශය අවිනීත ලෙස මෙම මන්ත්‍රී කණ්ඩායම හැසිරෙනු දක්නට ලැබිනි.

ජල ප්‍රහාරය එල්ල කිරීම ආරම්භ කරන්නේ විපක්ෂ මන්ත්‍රීවරියක වීමත් විඩියෝ දර්ශනවල එම හැසිරීම ඉතාම පැහැදිලිව පෙනෙන්නට තිබීමත් කැපී පෙනුනි. එම දැඩි තර්ජන සහ බලපෑම් තත්ත්වය මත ගාල්ල මහ නගරසභාවේ සභා ලේකම්වරිය රෝගාතුර වූ අතර ඇයව කරාපිටිය රෝහලට ඇතුළත් කිරීම එම අවස්ථාවේදීම සිදුවී තිබිණි.
මේ මැර නැටුම ආරම්භ වන්නේ ගාල්ල මහ නගර සභාවේ අය – වැය සම්මත කරගැනීම සඳහා දෙවැනි වර ඡන්ද විමසීමේ දී ඇතිවන තත්ත්වයක් ප්‍රශ්න කරමිනි. නගරාධිපතිවරයා න්‍යායපත්‍රානුකූලව සභාවේ කටයුතු ක්‍රියාත්මක කළත් ඉන් අනතුරුව එළැඹි කාරක සභා අවස්ථාව නිවේදනය කිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු ලේකම් මණ්ඩලයේ නිලධාරීන් සිටි ප්‍රදේශය වට කරගෙන පහත් ලෙස සැරෙන්නට වූ අතර නගරාධිපතිවරයා තත්ත්වය පාලනය කරගත නොහැකිව සභාවේ කටයුතු විනාඩි 30කට අත් හිටවනු ලැබුවේය. අනතුරව යළිත් සභාව රැස් වුව ද සභාව පාලනය කරගත නොහැකි වීම නිසා නගරාධිපතිවරයා සභාවේ කටයුතු අත්හිටවනු ලැබුවේය.







