වතු කම්කරුවන් වෙත රුපියල් දෙසීයක දීමනාව ලබා දීමේ අය – වැය යෝජනාවට විරුද්ධ වීම සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහණී කවිරත්නගේ පුද්ගලික යෝජනාවක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත්. පී පෙරේරා අද (16) කීවේය.
ඔහු වැඩිදුරත් කීවේ රෝහණී කවිරත්න මන්ත්‍රීවරියගෙන් අල්ලස් කොමිසමට ප්‍රසම්පාදන කොමිසමට මෙන්ම විගණකාධිපතිවරයාටත් ලිඛිතව පැමිණිලි කිරීමේ ක්‍රියාකලාපය පක්ෂයේ මතය නොවන බවය.
අද (16) කෝට්ටේ සමගි ජන බලවේගය විසින් කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අජිත් පී පෙරේරා යළි යළිත් අවධාරණය කළේ එය රෝහිණී කවිරත්න මන්ත්‍රීවරියගේ පුද්ගලික අදහසක් බවය.
“ඒක එතුමියගේ පෞද්ගලික අදහසක්නේ… එය පක්ෂයේ අදහස නොවෙයි…”අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා කීවේය.
ඇය ඡන්දය ලබා දීමට නොපැමිණීම ගැන අදහස් දක්වමින් අජිත් පී පෙරේරා පැවසුවේ ඇය ඡන්දය ලබා දීමෙන් වැලකී සිටි බවත් ඇයගේ අදහස පක්ෂයේ අදහස නොවන බවත්ය.
“ සමගි ජන බලවේගයේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. අපි කොන්දේසි විරහිතව වතු කම්කරුවන්ට පඩි වැඩි කිරීමට එකඟයි. සතුටුයි. ප්‍රීතියි. ඒ සඳහා රජයෙන් දුන්නත් කමක් නෑ. පෞද්ගලික අංශයෙන් දුන්නත් කමක් නෑ. දෙගොල්ල එකතු වෙලා තව දුරටත් දුන්නත් මේ වතු කම්කරු ජනතාවගේ ජීවිතය ගොඩනගන්න පඩි වැඩි කරනවා නම් ඒක සුදුසුයි. එකඟයි. ස්ථීරයි. “







