දැනට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන 31422ක් පමණ වූ පිරිස සඳහා වාර්ෂිකව රජය වියදම් කරන මුදල රුපියල් බිලියන 21.37ක් පමණ බව මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාල පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
මේ වනවිට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවය කරන පිරිසෙන් 5000ක් අලි මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා වන ජීවි දෙපාර්තමේන්තුව වෙත නිදහස් කරන බව කී ඇමතිවරයා තවත් 3975ක් මේ වනවිටත් වන ජීවී දෙපාර්තමේන්තුව වෙත නිදහස් කර ඇති බව කීවේය.
එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ රාජකාරි සඳහා තවත් දස දහසක් බඳවා ගන්නා බව කී ඇමතිවරයා ඉතිරි පිරිස්වල රැකිය සුරක්ෂිතභාවය තහවුරු කරමින් පුරුදු රාජකාරිවලම යොදවන බව පැවසුවේය. ඇමතිවරයා කීවේ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් රජයට රුපියල් මිලියන 937.6ක ආදායමක් උපදවා දී ඇති බවය.
එමෙන්ම සිවිල් ආරක්ෂක දෙපාරත්මේන්තුවේ සාමාජිකයින් පිට පළාත්වලින් විශේෂ රාජකාරි ලෙස කොළඹට ගෙන්වා ඔවුන් ලවා සනීපාරක්ෂක කම්කරුවන්ගේ රාජකාරි කරවන වැඩ පිළිවෙළ හේතුවෙන් ඔවුන්ගෙන් අදාළ ඵලදායී මෙහෙවර ලබා ගත නොහැකි බව අද පාර්ලිමේන්තුවේ දී මතුකළ ප්රශ්නයට පිළිතුරු දෙමින් ඇමතිවරයා කීවේ එවැනි තත්ත්වයන් ඇති නොවීමට ඉදිරියේ දී කටයුතු කරන බවය.







