අද (11) උදෑසන අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් මුදල් අමාත්‍යංශයේ හිටපු ලේකම්වරයෙකු වන චරිත රත්වත්තේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම විසින් ඇප මත මුදා හැරියේය.
අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැර සැකකරුගේ ගුවන් ගමන් තහනම් කළේය.
චරිත රත්වත්තේ අධිකරණයට ඉදිරිපත් කළේ සවස 2.45 ට පමණය. පස්වරු 3.45ට එක්වරම අධිකරණ පරිශ්‍රයේ විදුලිය විසන්ධි විය. අනතුරුව නඩුව ප්‍රධාන මහේස්ත්රාත්වරයාගේ නිල මැදිරියේ දී කැඳවනු ලැබිණි.
චෝදනා ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ නිලධාරින් කියා සිටියේ සැකකරු 2015 වසරේ අග්‍රාමාත්‍ය උපදේශක ලෙස කටයුතු කරමින් රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංසථාව වෙත භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේ දී අනුගමනය කළ යුතු නියමිත ක්‍රියාපටිපාටිය අනුගමනය නොකරමින් කිසිම අවශ්‍යතාවයක් නොමැති තාවකාලික වී ගබඩා 50ක් ආනයනය කිරීමට කටයුතු කර ඇති බවය.
මේ ක්‍රියාව තුළින් රජයට රුපියල් නව කෝටි අනූ නව ලක්ෂ නවසිය හැත්තෑ හයක පාඩුවක් සිදුවී ඇති බවත් භාණ්ඩ ගෙන්වූ අදාල පුද්ගලික සමාගමට බාහිර වාසියක් සකසා දීමට සැකකරු කටයුතු කර ඇති බවත් විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම් දුන්හ. සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව ඉල්ලා සිටියේය.
එම අවස්ථාවේ දී සැකකරු වෙනුවෙන් පෙනී සිටි අනුජ ප්‍රේමරත්න සැකකරුට ඇප ඉල්ලීමක් කළේය. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරා සැකකරු ඇප මත මුදා හැරියේය.
පැමිණිල්ල ජනවාරි මස 23 වෙනිදා යළි කැඳවීමට නියෝග කළේය.







