මනම්පිටිය නිමල් ජයරත්න –
යූ ටියුබ් හරහා දෙස් විදෙස් පුද්ගලයින් රවටා, ආරක්ෂාවන් සලසා, යන්ත්‍ර මන්ත්‍ර කරදෙන බවට පවසමින් ඔවුන්ගෙන් තම බැංකු ගිණුම්වලට මුදල් බැර කරගෙන වංචා රැසක් සිදුකර ඇති බව කියන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ සිටි භික්ෂු ප්‍රතිරූපක චීවර ධාරියෙක් ඊයේ ( 02 ) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව මනම්පිටිය පොලිසිය කියයි.
තංගල්ල මුවන්පැලැසේ ප්‍රදේශයේ සිට පැමිණි දෙදරු පියෙකු වන පී.එස්.එම් සනත් යන අයෙකු අවස්ථා දෙකකදී කරන ලද පැමිණිල්ලක් අනුව පැමිණිලිකරු සමග පොලිසිය මෙම භික්ෂුව සිටිනා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට ගිය විට පොලිසිය ඉදිරිපිට ඔහු විසින් පැමිණිලිකරුට පහර දුන් බවත්, පැමිණිලිකරු තුවාල ලබා මනම්පිටිය රෝහලේ ප්‍රතිකාර ගන්නා බවත් මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න අප කළ විමසීමකදී සඳහන් කළේය.
පොලිසිය පැවසුවේ මේ අවස්ථාව වනවිට උක්ත චීවර ධාරියා අධික ලෙස බීමත්ව සිටි බවය.
ඒ අනුව පොලිසිය විසින් වියරු ලෙස හැසිරෙන මෙම බීමත් චීවරධාරියා අත් අඩංගුවට ගත් පොලිසිය අද ( 03 ) පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඔහු ඉදිරිපත් කරන බව පැවසුවේය.
මෙම භික්ෂුව දිගු කලක සිට තම යූටියුබ් නාලිකාව හරහා විවිධ පුද්ගලයින් රවටා ඔවුනට ආරක්ෂාව, රැකවරණය, යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් මෙන්ම නිවාස ආරක්ෂාව, ඇතුළු ලෙඩ රෝග සුවකර දෙන බවට ප්‍රචාරණයක් දී දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් විශාල මුදල් ප්‍රමාණයක් බැංකු ගිණුමට බැර කරගෙන ඇති බවද මූලික පරීක්ෂණවලින් හෙළිදරව් වී ඇතැයි මනම්පිටිය පොලිසිය කියයි.
භික්ෂුවගෙන් පහර කෑමට ලක් වූ පුද්ගලයා තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. එම පුද්ගලයා ද අදාල භික්ෂුවගේ ගිණුමට රුපියල් ලක්ෂයක් බැර කර ඇත.
මෙලස රැවටීමට ලක් වූ පුද්ගලයන් මෙම භික්ෂුව සොයාගෙන රටේ විවිධ ප්‍රදේශවලින් පසුගිය කාලය පුරා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට පැමිණ තිබේ, එම අවස්ථාවේදී එම භික්ෂුව සැඟවුණු බවත්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් තමන් වහන්සේට මෙම භික්ෂුව සම්බන්ධ යෙන් දුරකථන පැමිණිලි විශාල ප්‍රමාණයක් දෛනිකව ලැබෙමින් තිබෙන බවත් මේ පිළිබඳව අප කළ විමසුමකදී ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් සඳහන් කළහ.
ඒ අනුව තමන් වහන්සේ ද මේ සම්බන්ධව අදාල පොලිස් ස්ථානයට සහ නිකායේ මහානායක ස්වාමින්වහන්සේලාට දැනුම් දී ඇති බව නා හිමියෝ කීහ.
ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය සහ තමන්ගේ නව භාවිතා කරමින් මෙම භික්ෂුව සිදු කරන මහා ජාවාරමට නොරැවටෙන ලෙස තමන් මීට පෙර ලක්වාසී සියලු දෙනාට මාධ්‍ය මගින් දැනුවත් කළ බව ද දිඹුලාගල නා හිමියෝ කීහ.
මේ සම්බන්ධව දැනුම්වත් නොවූ අය තවමත් භික්ෂුවගේ ගිණුම්වලට විශාල වශයෙන් මුදල් බැර කරන බවත්, යළිත් මෙම භික්ෂුවට නොරවැටෙන ලෙස සියලු ලක්වාසී ලෝකවාසී ජනතාවගෙන් තමන් වහන්සේ ඉල්ලා සිටින බවත් රාහුලාලංකාර නාහිමියන් අවධාරණය කළහ.
පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිසරිකාරී බුද්ධික මනතුංගගේ උපදෙස් මත මනම්පිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක පී.ජී.ඒ.සී. ආරියරත්න ඇතුළු පොලිස් නිලධාරී කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.







