මේ වනවිට ටෙන්ඩර් කැඳවා ඇති දුම්රිය කට්ටල සඳහා වූ කටයුතු අවසන් වනවිට මේ වසර අග වනු ඇති බවත්, එම ටෙන්ඩර වෙනුවෙන් දුම්රිය නිපදවා ලංකාවට ලබා ගැනීමට තවත් වසර දෙක හමාරක් තුනක් පමණ ගත වනු ඇති බවත් ප්‍රවාහන නියෝජ්‍ය ඇමති වෛද්‍ය ප්‍රසන්න ගුණසේන අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.
ඔහු පෙන්වා දෙන්නේ දුම්රිය අමතර කොටස් සඳහා මේ වනවිට ලැබෙමින් ඇත්තේ 2023 දී සිදුකළ ප්‍රසම්පාදනයන් බවය. මේ සියලුම ප්‍රායෝගික තත්ත්වයන් යටතේ භෞතික සම්පත් මෙන්ම මානව සම්පත් දියුණු කරගෙන දුම්රිය සේවාව දියුණු කිරීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක බව ද එහි ප්‍රතිඵල ක්ෂණයකින් නොලැබෙන බවද ඇමතිවරයා කීවේය.
ඔහු පැවසුවේ මෙවැන්නකි.
පවතින දුම්රිය වර්ෂ ගණනාවක් පැරණියි. දුම්රිය ගමන් වාර කැන්සල් වෙනවා. අලුත් දුම්රිය අවශ්‍යයයි. දැන් දුම්රිය බලවේග කට්ටල ඇන්ජින් තියෙන්නේ අවුරුදු 40ක් 50ක් පැරණි ඒවා. මේවා රෙපෙයාර් කරලා දැම්මත් ආයෙත් රෙපෙයාර් සඳහා එනවා. ඒ නිසා දවසකට දුම්රිය වාර අවලංගු වෙන ප්‍රමාණය වැඩියි.
අලුත් බලවේග කට්ටල 05ක් ආනයනය කරන්න ටෙන්ඩර් කටයුතු අවසන් වෙලා තියනවා. මේ අවුරුද්ද අවසන් වෙනකොට අපට ටෙන්ඩර් කෝල් කරගන්න පුලුවන් වේවි කියලා හිතනවා. සාමාන්‍යයෙන් වාහනය සඳහා වෑන් එකක් බස් එකක් ගේනවා වගේ දුම්රියක් ගේන්න බෑ. දුම්රියක් ලංකාවේ රේල් පීලිවලට සහ දුම්රිය උමං පද්ධතියට ගැලපෙන විදිහට අපි හදන්න ඕන. ඩිසයින් පාර්ට් එකට ලොකු කාලයක් ගත වෙනවා.
ලබන අවුරුද්ද මුල ලබා දුන්නත් දුම්රිය කට්ටල පහ ලංකාවට එනකොට වසර දෙක හමාරක තුනක් ගත වෙනවා දුම්රිය කට්ටල පහ ලංකාවට එනකොට.
නමුත් මේ වෙනකම් දුම්රිය සේවය පවත්වා ගත යුතුයි. ඒ සඳහා මානව සම්පත සහ භෞතික සම්පත වැඩි කරගත යුතුයි. භෞතික සම්පත වැඩිකරගැනිම පැත්තෙන් දැන් ප්‍රසම්පාදන කටයුතු සිදුවෙන්නේ 2023 සිට ඇනවුම් කරන ලද අමතර කොටස්… ඒ අමතර කොටස් තමයි දැන් ලැබෙන්නේ.
මේ නිසා අපි ප්‍රසම්පාදන මීට වඩා ක්‍රමවත්ව සහ පිළිවෙළකට කරන්න වැඩසටහනක් හදලා තියනවා. තව මාස හයක් යනකොට මීට වඩා හොඳ තැනකට ගන්න හැකි වේවි.
විවිධ ක්‍රම පටන් ගත්තා. ප්‍රතිඵල ලැබෙන්නේ සෙමෙන්. අනෙක් ආයතනවල වගේ ක්ෂණික ප්‍රතිඵල ගන්න බෑ. අපි බලාපොරොත්තු වෙන තරම් ඉක්මනට ඉලක්ක වෙත යන්න බැරි වෙලා තියනවා.
දුම්රිය රියදුරන්ගේ හිඟයි. තරග විභාගයට ලියා සමත් වී සිටින 162ක් ඉන්නවා බඳවා ගන්න. ඊයේ අද හෙට සම්මුඛ පරික්ෂණ තියනවා. මානව සම්පත අවුරුද්දක් ඇතුළත සම්පූර්ණ කරගන්න පුලුවන්. ඒත් භෞතික සම්පත් හිමින් සීරුවේ ලබා දෙන්න වෙන්නේ. “ නියෝජ්‍ය ඇමතිවරයා කීවේය.







