ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අතින් බරපතල ලිංගික අපයෝජනයකට ලක් වුන කොළඹ මහානාම විද්‍යාලයේ දරුවන් තිදෙනා සම්බන්ධව ගත හැකි උපරිම සාධාරණ පියවර ගන්නා බවත්, මෙවැනි සිදුවීම් පාලනය කරගැනීම සඳහා පාදක වන්නේ නිශ්ඡිත විමර්ශනයකින් අනතුරුව වරදකරුවන් වෙත ලබා දෙන දැඩි දඬුවම් බවත් සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද පාර්ලිමේන්තුවේ දී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. විපක්ෂ නායකවරයා අද පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කරනු ලැබුවේ මේ අපයෝජන සිද්ධිය පාසලේ විදුහල්පතිවරයා විසින් බලපෑම් කර යට ගැසීමට උත්සාහ කරන බවය. එමෙන්ම මේ අපරාධය යට ගැසීමට එරෙහිව පාසල ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට දෙමව්පියන් සංවිධානය වන බව ද විපක්ෂ නායකවරයා කීවේය.
ඔහු ඒ සම්බන්ධව කීවේ මෙසේය.
“ කොළඹ මහානාම විද්‍යාලයේ අධ්‍යාපනය ලබන දරුවන් තිදෙනෙක් එම විදුහලේ ප්‍රධාන ස්ථාන භාර ආරක්ෂක නිලධාරියා විසින් ඔක්තෝම්බර් හතරවැනි සිකුරාදා බරපතල ලෙස ලිංගිකව අපයෝජනයට ලක් කරනවා. මේ වගේ තත්ත්වයක් තුළ දැනගන්නට තිබෙන ආකාරය විදුහල්පතිවරයා සහ ආචාර්යවරුන්වත් මේ අපයෝජනයට ලක් වූ දරුවන් තිදෙනා සම්බන්ධව පැහැදිලි පියවරක් අරගෙන නෑ. දන්න විදිහට වෛද්‍යවරුන් වෙත යොමු කරලත් නෑ. “
“ විශේෂයෙන් මේ ආරක්ෂක ආයතනය පිළිබඳව ඒ වගේම අපයෝජනය කළ පාපතරයා පිළිබඳව ක්‍රියා කරන්න කටයුතු කරලා නෑ. ගුරුවරයින් දෙපළක් පමණ විදුහල්පතිවරයාගේ අවධානය යොමු කරන්න හදපු වෙලාවේ විදුහල්පතිවරයා තර්ජනය කරලා තියනවා කියන එක වාර්තා වෙනවා. පැමිණිලි කරන්න ගියාම දරුවන් උසාවි ගානේ ගෙනියන්න වෙයි, අවුරුදු ගානක් ගතවෙයි කියලා දෙම්පියන් බියවැද්දීමක් වෙලා තියනවා.”
“කොච්චර උත්සන්න වීමක් වෙලා තියනවද කියනවා නම් මේ කාරණාව පාසල ඉදිරිපිට උදඝෝෂණයක් කරන්න කැඳවීමක් තියනවා. මම විශේෂයෙන්ම මේ කාරණාව ඔබතුමාට යොමු කරන්නේ මේ කාරණාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් පවත්වලා ඒ අපයෝජනයට ලක් වූ බව කියන දරුවන් තුන්දෙනා පළිබඳව නිසි ආරක්ෂාව රැකවරණය ශක්තිය උපදේශනය ලබා දීම සඳහා කටයුතු කරන්න.”
“ළමා ආරක්ෂණ අධිකාරිය තිබෙන්නේ ඔබතුමා යටතේ නෙමෙයි. නමුත් මේ පිළිබඳව මේ සංවේදී කාරණාවෙදි කාටද මේකේ වගකීම තියෙන්නේ කියලා හොයලා බලන්නේ නැතිව යම් කිසි පියවරක් අමාත්‍යාංශ ඒකාබද්ධ වෙලා හරි ගන්න. විශේෂයෙන්ම මේ අපයෝජනයට ලක් වුන දරුවන්ට ලබා දිය යුතු ආරක්ෂාව රැකවරණය, උපදේශනය වෛද්‍ය ප්‍රතිකාර සිදුවනවා නැද්ද යන්න සොයලා මේ ක්‍රියාවට මුල්වුන පාපතරයාට නීතිමය ක්‍රියාමාර්ග ගන්නවද, එසේත් නැතිනම් මේක යටගහන්න යම් යම් බලපෑම් කරනවා ද කියන එක මේ පාර්ලිමේන්තුවට මේ ගැන ප්‍රකාශයක් කරන්න. සංවේදී කාරණාවක්. බරපතල කාරණාවක්. ළදරුවන්ට මේ පාපතරයා කළ විනාශය ගැන ගත හැකි උපරිම පියවර ගන්න කියලා මා යෝජනා කරනවා.”
“දරුවන්ට එරෙහිව සිදුවන කායික මානසික කවර හෝ හිංසනයකට එරෙහිව මේ රජය දැඩිව කටයුතු කරනවා. නීති මගින් කටයුතු කරනවා පමණක් නොවෙයි ඒ දරුවන් ආරක්ෂා කරගැනීමට කටයුතු කරන අන්තර් අමාත්‍යාංශ අවධානය යොමු කරමින් නීති ශක්තිමත් කරමින් ඉන්නවා. විශේෂයෙන්ම සමහර ගතානුගතික සහ ආචීරණ කල්පිත මතවාද නිසා අගතියට පත්වන දරුවන් බේරාගන්නත් අප රජයක් ලෙස කටයුතු කරගෙන යනවා. ඒ නිසා අපි හිතනවා ඒකට විපක්ෂය අවශ්‍ය කරන සහාය ලබා දෙන්න කියලා ඉල්ලනවා.”
එහිදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති වෛද්‍ය නලින්ද ජයතිස්ස මෙසේ පැවසුවේය.
“මේ නිශ්චිත කරුණ සම්බන්ධව අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් වෙලා තිබෙන්නේ. විමර්ශන දියත් වෙලා තියනවා. පොලිසිය පැත්තෙන් කටයුතු ආරම්භ වෙලා තිබෙනවා. “
“මෙවැනි කවර හෝ සිදුවීමක් සුළු කොට තකන්නේ නෑ. මේ සිදුවීම්වලට අප ගන්නා ප්‍රතිචාරයෙන් තමයි තවත් මේ සිදුවීම් වළක්වා ගත හැකි වන්නේ. විශේෂයෙන්ම මෙවැනි සිදුවීම් වාර්තාකරණයේ දී ඒ දරුවන් යළි යළිත් අගතියට පත් නොකර වාර්තා කරන්න මාධ්‍යයටත් වගකීමක් තියනවා. “







