පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු, නව රජයක් සඳහා නේපාල මැතිවරණය ලබන වසරේ මාර්තු 05 වැනිදා පැවැත්වීමට නියමිතය.
බිහිසුණු රාජ්‍ය විරෝධී විරෝධතා හමුවේ නේපාල අගමැති කේ.පී.ෂර්මා ඕලී ඉල්ලා අස්වීමෙන් පසු හිටපු අගවිනිසුරු සුෂිලා කාර්කි රටේ අන්තර්කාලීන අගමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය. ඉන් දී පැය කිහිපයකට පසු, ඊයේ (12) රාත්‍රියේ නේපාල පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය.
නව රජයක් සඳහා මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිතය.
“අග්‍රාමාත්‍යවරියාගේ නිර්දේශය මත, පාර්ලිමේන්තුව විසුරුවා හැර ඇත. මැතිවරණ දිනය 2026 මාර්තු 5 වේ,” ජනාධිපතිවරයාගේ මාධ්‍ය උපදේශක කිරන් පොකරෙල් AFP වෙත ප්‍රකාශ කර තිබිණි.
දූෂණ විරෝධී විරෝධතා රජය නෙරපා හැරීමෙන් පසු, මැතිවරණයට මාස හයක සංක්‍රාන්තියක් මෙහෙයවීම සඳහා රටේ අගමැති ලෙස කාර්කි සිකුරාදා දිවුරුම් දුන්නාය.
“මම, සුශිලා කාර්කි… අගමැතිනිය ලෙස මගේ යුතුකම ඉටු කිරීමට රටේ සහ ජනතාවගේ නාමයෙන් දිවුරුම් දෙනවා…,” නේපාලයේ පළමු කාන්තා අගවිනිසුරුවරිය වන 73 හැවිරිදි කාර්කි, ජනාධිපති රාම් චන්ද්‍ර පෝඩෙල් ඉදිරියේ දිවුරුම් දෙමින් පැවසුවාය.
“සුභ පැතුම්! අපි ඔබට ජය ප්‍රාර්ථනා කරමු, රටට ජය ප්‍රාර්ථනා කරමු,” රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ සමහර හිටපු නායකයින් සහභාගී වූ ජනාධිපති මන්දිරයේ පැවති කුඩා උත්සවයෙන් පසු නේපාල ජනාධිපති රාමචන්ද්‍ර පෝඩෙල් කාර්කිට පැවසීය.







