ඉඳුනිල් කහටපිටිය –
නේපාලය තීරණාත්මක ලෙස සිය ඉතිහාසක කතාව වෙනස් කරගෙන තිබේ. නේපාල ඉතිහාසයේ ප්‍රථම අගමැතිනිය ලෙස හිටපු අගවිනිසුරුවරියක වන සුෂිලා කාර්කි පත් කර ඇත. ප්රචණ්ඩත්වය ප්රමුඛ වූ දූෂණ විරෝධී විරෝධතා හේතුවෙන් අගමැති කේ.පී. ෂර්මා ඔලි ට ඉල්ලා අස්වීමට සිදුවීමෙන් අනතුරුව පිහිටවන අන්තර්වාර රජයේ අගමැතිනිය ලෙස අද රාත්‍රියේ ද සුෂිලා දිවුරුම් දෙනු ඇති බව නේපාල ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.
නේපාල ජනාධිපති, නේපාල හමුදා ප්‍රධානී අශෝක් රාජ් සිග්ඩෙල් සහ නේපාලයේ අරගලයට නායකත්වය දුන් විරෝධතාකරුවන් අතර පැවති සාකච්ඡාවලින් පසුව ජනාධිපති රාම්චන්ද්‍ර පෝඩෙල්ගේ කාර්යාලය කාර්කිගේ පත්වීම අද නිවේදනය කළේය.
මේ සතියේ ‘ජෙන් ඉසෙඩ්’ ව්‍යාපාරය විසින් සිදු කරන ලද දූෂණ විරෝධී විරෝධතාවලදී පුද්ගලයින් පනස් එක් දෙනෙකු මිය ගිය අතර 1,300 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ. මෙම අරගලයට නායකත්වය දුන්නේ නේපාලයේ තරුණයින්ය. නේපාලය තුළ සමාජ මාධ්‍ය තහනමත් සමග මතුවී පැතිරී යන ජන පීඩනය අවසානයේ දී දැවැන්ත විරෝධතාවයක් වී රටේ අගමැතිවරයා ධූරයෙන් පහ කරනු ලැබුවේය.
හිටපු අග විනිසුරු සුෂිලා කාර්කි 73න් හැවිරිදිය. ඇය නේපාල වේලාවෙන් අද රාත්‍රි 9.15 දිවුරුම් දෙන බව ජනාධිපති කාර්යාලයේ තොරතුරු නිලධාරිනී අර්චනා කඩ්කා පැවසුවාය. ඇය සමඟ තවත් අමාත්‍යවරුන් දෙදෙනෙකු ද දිවුරුම් දෙන බව ප්‍රාදේශීය රූපවාහිනී නාලිකා වාර්තා කළේය. ඒ ඇමතිවරු ඇයගේ කුඩා කැබිනට්ටුව නියෝජනය කරනු ඇත.
කාර්කී නේපාලයේ අගවිනිසුරුවරිය ලෙස සේවය කළ එකම කාන්තාවය. කාර්කි ඇයගේ අවංකභාවය සහ දූෂණයට එරෙහි ස්ථාවරය සඳහා කීර්තිධර කාන්තාවක වූවාය. විරෝධතාකරුවන්ගේ ප්‍රියතම තේරීම ඇය වීමට හේතුව එයය.
රට සාමාන්‍ය අතට
නව දේශපාලන එකඟතාවයන් සමග මිලියන 30 ක ජනතාවක් සිටින රට අද (12) සවස්වන විට සාමාන්‍ය තත්ත්වයට පත් වූ විය. සාප්පු නැවත විවෘත වූයේය. මෝටර් රථ නැවත මාර්ගවලට පැමිණියේය. පොලිසිය මෙම සතිය මුලදී ඔවුන් භාවිතා කළ තුවක්කු වෙනුවට බැටන් පොලු අත දරා උන්හ. විරෝධතාවලදී මියගිය අයගේ මළ සිරුරු පවුල් වෙත භාර දීම ඇරඹිනි.
පෙර මෙන් හමුදා සොල්දාදුවන් අඩු සංඛ්‍යාවක් වීදි මුර සංචාරයේ යෙදෙමින් සිටියේය. එහෙත් සමහර මාර්ග තවමත් අවහිර කර තිබුණි. එහෙත් මිය ගිය තරුණයින්ගේ ඥාතීන් නගන අඳෝනා තවමත් නේපාලය කම්පනය කර තිබේ. කැරැල්ලේදී මිය ගිය අය අතර විරෝධතාකරුවන්ගේ කෲරත්වයට ලක් වී ඝාතනය වුන හිටපු අග්‍රාමාත්‍ය බිරිය Rabi Laxmi Chitrakar ද සිටින්නීය. විවාහ වී මසක් ගත නොකළ තරුණ සැමියන් සිටින්නේය. අනාගතය ගැන යහපත් බලාපොරොත්තු සහිතව විදී බට තරුණයින් සිටින්නේය. මේ මිනිස්සුන්ගේ ජීවිත ව්‍යසනය පරිත්‍යාගයක් ද, කඩාකප්පල්කාරී මුග්ධකමක් ද යන්න තීරණය කරනු ඇත්තේ ඉතිහාසය ය.
ඒ කෙසේ වෙතත් දකුණු ආසියානු කලාපය දැන් අලුත් පණිවිඩයක් රැගෙන ඇවිත් තිබේ. කුපාඩිකම් දූෂණය සහ වංචාව තවදුරටත් වහලුන් සේ දරා නොසිටින බවය. ලංකාවෙන් ඇරඹුන ඒ ආදර්ශය බංගලාදේශය හරහා නේපාලයටත් පැමිණ ඇත. අපේ රටේ දැන් සිටින පාලකයින් ද අවබෝධ කරගත යුත්තේ කයිවාරුව ප්‍රායෝගික නොවන තැන ඇති විය හැකි ව්‍යසනය සියල්ල ගිනි තබා සුන්කරන සුසාන නිර්මාණය කළ හැකි බවය.







