බ්‍රහස්පතින්දා, ජූලි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ අපරාධ පරීක්ෂණයකට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමෙන් නිර්දේශ ඉදිරිපත් කරයි!

by editor
සැප්තැම්බර් 6, 2025
in පුවත්
chemmani
Share on FacebookShare on Twitter

බීබීසී – සිංහල –

චෙම්මනි සමූහ සුසානයේ වළදමා ඇති පුද්ගලයන් අනීතික ඝාතනවලට ගොදුරු වුවන් වීමේ හැකියාවක් ඇති බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විශ්වාසය පළ කොට තිබේ.

අපරාධයක් සිදුවූ ස්ථානයක් ලෙස දැනටමත් අධිකරණය විසින් නම් කොට ඇති එම සමුහ මිනීවළ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණයක් සිදුකළ යුතු බව කොමිසමේ නිගමනය වී තිබේ.

රහස් පොලිසියේ අඩන්තේට්ටම් නවත්වන්න

දින 42ක් තිස්සේ කරන ලද කැනීම්වලින් අනතුරුව දරුවන්ගේ ද ඇතුළු මිනිස් ඇටසැකිලි 222ක් පාදාගෙන තිබෙන යාපනයේ, චෙම්මනි සමුහ මිනීවළ සම්බන්ධ සිය මුල් ම වාර්තාව එළිදක්වන මානව හිමිකම් කොමිසම විමර්ශන කටයුතුවල යෙදී සිටින නීති නිලධාරීන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකරන අඩම්තේට්ටම් පිළිබඳව ද තමන්ට වාර්තාවී ඇති බව වාර්තාවේ දැක්වේ.

“උදාහරණයක් ලෙස ගතහොත් විමර්ශන සිදු කරද්දී ඇතැම් CID නිලධාරීන් විසින් ප්‍රාදේශීය බලධාරී ආයතනවල කාර්ය මණ්ඩලයට සහ අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුලේ සාමාජිකයන්ට අනවශ්‍ය සහ එදිරිවාදී ආකාරයේ ප්‍රශ්න කිරීම් කරන බවට චෝදනා කරමින් යාපනය නීතිඥ සංගමයේ සාමාජිකයන් විසින් උගත් මහේස්ත්‍රාත්වරයාට කරුණු දක්වා ඇතැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට දැනගන්නට ලැබී තිබේ.” යැයි පිටු 13කින් සමන්විත එම වාර්තාවේ සඳහන් වේ.

එසේ නිලධාරීන්ට හා වින්දිතයන්ට අඩම්තේට්ටම් කිරීමෙන් වළකින ලෙස රහස් පොලිසියට නියම කරන මෙන් කොමිසම පොලිස්පතිවරයාට නිර්දේශ කර තිබේ.

RelatedPosts

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

මානව හිමිකම් කොමිසම චෙම්මනි සමූහ සුසානයට ගිය ගමන

ජනාධිපති අනුර කුමාර දිසානායක උතුරේ නිල සංචාරයක් හමාර කළ දිනට පසුව දා කොමිසම විසින් වාර්තාව එළිදක්වා ඇත්තේ අගෝස්තු 3 සහ 4 දෙදින චෙම්මනියේ සිදුකළ සංචාරයක දී රැස් කරගන්නා ලද තොරතුරු පදනම් කරගනිමින් ය. ඒ වනවිට ගොඩගෙන තිබු සම්පූර්ණ මිනිස් සිරුරු සංඛ්‍යාව 135 කි.

සිය යාපනය සංචාරයේ මුල් ම දිනයේදී අතුරුදන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ (OMP) කාර්ය මණ්ඩලය, නීතිඥයින්, සිවිල් සමාජ ක්‍රියාධාරින් සහ අතුරුදහන් කරනු ලැබුවන්ගේ ඥාතීන් සමග මානව හිමිකම් කොමිසමේ නියෝජිත මණ්ඩලය සාකච්ඡා කර තිබේ.

දෙවැනි දිනයේදී කැණීම් භූමියට ගිය ඔවුන් යාපනය මහේස්ත්‍රාත් අමලවන් ආනන්දරාජා, අධිකරණ වෛද්‍ය නිලධාරී සෙල්ලයියා පරනවන්, සහ මුලික විමර්ශන භාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියා මුණගැසී තිබේ.( ඔහුගේ නමක් සඳහන් කර නොමැත.)

යාපනය විශ්ව විද්‍යාල වෛද්‍ය පීඨයේ වෝහාරික විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රධානී ආචාර්ය පී ඒ දිනේෂ් කොන්ගේ මුණගැසී ගොඩගත් සිරුරු කොටස් ගබඩා කර ඇති ආකාරය ද නිරීක්ෂණය කර ඇත.

චෙම්මනි සමුහ මිනීවලේ කැණීම් සහ ගොඩ ගැනීම් අධීක්ෂණය කරන පුරාවිද්‍යා විශේෂඥ මහාචාර්ය රාජ් සෝමදේව ද වෙන්ව මුණගැසුණු බව වාර්තාවේ සඳහන් වේ.

නීති විරෝධී වළ දැමීම් වීමේ සාධාරණ හැකියාවක් පවතී

සමුහ සුසානයේ රාජකාරි කරන විශේෂඥයන් විසින් ලබාදුන් තොරතුරු පදනම් කරගෙන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පවසන්නේ හමුවූ මිනිස් සිරුරු අතරින් සියයට අනූවකම කිසිදු ආකාරයක ඇඳුම් නොතිබීම නිසා එම වළ දැමීම් චාරිත්‍රනුකූලව හින්දු භූමදාන ලෙස සැලකීමේ හැකියාවක් නැති බව යි.

“ඇතැම් සිරුරු කොටස් එකිනෙකට ඉතා සමීපව ද නොගැඹුරු ලෙසින් ද තිබීමේ සාධකය ද ඇතුළුව, ඇටසැකිලි තිබෙන ආකාරය සැලකිල්ලට ගත්කල, මේවා අනීතික ඝාතනවලින් අනතුරුව කරන ලද නීති විරෝධී වළ දැමීම් වීමේ සාධාරණ හැකියාවක් පවතී. එම නිසා විමර්ශනයේ මේ අදියරේදී වරදක් නිරාවරණය වේ නම්, අපරාධ පරීක්ෂණයක් සිදුකොට එහි ප්‍රගතිය උගත් මහේස්ත්‍රාත්වරයාට වාර්තා කළ යුතු වන්නේය.” යි වාර්තාවේ සඳහන් වේ.

රාජ්‍ය නිලධාරින්ගේ අපරාධ විමර්ශනයට ස්ථාවර කාර්යාලයක් පිහිටුවන්න

“සමූහ සුසාන භුමියේ කැණීමේ සහ ගොඩගැනීමේ යෙදී සිටින පුද්ගලයන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් අඩම්තේට්ටම් කිරීම පිළිබඳ සිත කළඹන වාර්තා” ගැන ද අවධාරණය කරන කොමිසම් වාර්තාව, පොලිස් නිලධාරීන් විමර්ශනයට සම්බන්ධ වී සිටීම එහි ප්‍රතිඵලයට අගතිදායක අයුරින් බලපානු ඇති බවට බිය පළ කරයි.

එවැනි තත්වයක් යටතේ වගවීම සම්බන්ධ විකල්ප ප්‍රවේශයක් සඳහා “රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන බරපතළ අපරාධ විමර්ශනය සඳහා වන ස්ථාවර කාර්යාලයක්” පිහිටුවීමේ අවශ්‍යතාව කොමිසම විසින් අවධාරණය කර තිබේ.

මාධ්‍යවේදී කුමනන් ප්‍රශ්න කිරීම මාධ්‍ය නිදහසට එරෙහිව බිය වැද්දීමේ ක්‍රියාවක්

චෙම්මනි සමූහ මිනීවළේ විමර්ශන කටයුතු අඛණ්ඩව වාර්තා කරමින් සිටින මාධ්‍යවේදී කුමනන් කනපතිපිල්ලෙයි පොලිසියේ ත්‍රස්ත මර්දන හා විමර්ශන දෙපාර්තමේන්තුව (CTID) විසින් කැඳවා ප්‍රශ්න කිරීම මාධ්‍ය නිදහස අධෛර්යමත් කිරීමේ (බිය වැද්දීමේ) ක්‍රියාවක් බව මානව හිමිකම් කොමිසමේ නිරීක්ෂණය වී තිබේ.

“කැඳවන ලද අවස්ථාවේදී මාධ්‍යවේදියා චෙම්මනි සමූහ මිනීවළ පිළිබඳ පරීක්ෂණවල ප්‍රගතිය සම්බන්ධයෙන් ලේඛනගත කරමින් සහ වාර්තා කරමින් සිටීම හේතුවෙන්, ත්‍රස්ත මර්දන හා විමර්ශන දෙපාර්තමේන්තුව (CTID) විසින් ඔහු කැඳවීමේ පසුබිම සහ කාලය මෙහිදී සැලකිල්ලට ගන්නා ලදී” යනුවෙන් මානව හිමිකම් කොමිසම පවසයි.’

මිනීවළේ විමර්ශන ප්‍රතිඵල සම්බන්ධයෙන් බැඳියාවක් ඇති පාර්ශව

ශ්‍රී ලංකා පොලිසිය මෙන් ශ්‍රී ලංකා යුද හමුදාව චෙම්මනි සමූහ මිනීවළේ විමර්ශන ප්‍රතිඵල සම්බන්ධයෙන් බැඳියාවක් ඇති පාර්ශව බව මානව හිමිකම් කොමිසම පැහැදිලි කොට දක්වා තිබේ.

චෙම්මනි සමූහ මිනීවල ගැන මුල්වරට අනාවරණය වූ අනූව දශකය අග භාගයේදී ක්‍රිෂාන්ති කුමාරස්වාමි දූෂණය හා ඝාතනය සම්බන්ධයෙන් 1988 දී මරණීය දණ්ඩනය නියම වූ ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂ විත්ති කුඩුවේ සිට ප්‍රකාශ කළේ එම ප්‍රදේශයේ තවත් මිනී සිය ගණනක් නීති විරෝධී අයුරින් වල දමා ඇති බව යි.

ඔහු විසින් පෙන්වන ලද ස්ථාන කැණීමෙන් අනතුරුව 1999 දී වධහිංසාවේ සළකුණු රැගත් සිරුරු 15ක් ගොඩගන්නා ලද අතර ලාන්ස් කෝප්‍රල් රාජපක්ෂ මෙන් ම ඔහුගේ බිරිඳ විසින් මෑතක දී ජනාධිපති අනුර කුමාර දිසානායකට ලියන ලද ලිපියකින් ද චෙම්මනි අපරාධය සම්බන්ධයෙන් චෝදනා නගා ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරීන්ට යි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම විසින් අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් විභාග කිරීමට 2003 දී පත්කරන ලද කමිටුවට යාපනය කලාපයෙන් ලැබුණු පැමිණිලි 327 ක් අතුරින් 281ක් විමර්ශනය කිරීමෙන් අනතුරුව ඒ අතරින් සැලකිය යුතු සංඛ්‍යාවක් චෙම්මනිය හා ඒ අවටින් සිදුකරන ලද අත්අඩංගුවට ගැනීම් ලෙස හෙළි වූ බව 2025 සැප්තැම්බර් 3 වාර්තාව පෙන්වා දෙයි.

“මේ සෑම සිද්ධියක ම අත්අඩංගුවට ගැනීම සිදුකරන ලද්දේ ආරක්ෂක නිලධාරීන් විසින් යන කරුණ අභියෝගයට ලක්වී නැත.” යනුවෙන් 2003 කමිටු වාර්තාව කර ඇති නිගමනය මානව හිමිකම් කොමිසම සිය නවතම වාර්තාවේ උපුටා දක්වා ඇත.

ජනාධිපති සන්නද්ධ හමුදා කැඳවීම ගැන වාර්තාවේ ඇත්තේ මොනවාද?

ජනාධිපතිවරයා විසින් මාසයක් පාසා නිකුත් කරන ගැසට් නිවේදන මගින් මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා කැඳවීම ද මානව හිමිකම් කොමිසමේ චෙම්මනි වාර්තාවේ අවධානයට යොමු වී තිබේ. “මහජන සාමය පවත්වාගෙන යාම” යනු කලහකාරී හැසිරීම වැළක්වීමට සහ පොදු දේපල ආරක්ෂාවට පොලිසියට සහාය දීම බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අවධාරණය කරයි.

“මෙම සන්දර්භය යටතේ, කිසිදු රාජ්‍ය නිලධාරියෙකු, සිවිල් සමාජ නියෝජිතයෙකු හෝ අතුරුදහන් තැනැත්තකුගේ පවුලේ සාමාජිකයෙකු සම්බන්ධ කරගැනීම ඇතුළුව චෙම්මනි සමුහ මිනීවළ පරිශ්‍රයේ සිදු කෙරෙන පරීක්ෂණවලට කිසි ම සම්බන්ධතාවක් ඇති කර ගැනීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ නිලධාරීන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වෙයි,” යනුවෙන් මානව හිමිකම් කොමිසම් වාර්තාවේ දැක්වේ.

චෙම්මනි සමූහ මිනීවලේ සිදුකෙරෙමින් පවතින විමර්ශන වලට අදාළව “නිශ්චිත ආයතනවල ක්‍රියාධරයින් ස්වකීය රාජකාරිය කැපවීමෙන් හා සැලකිල්ලෙන් යුතුව සිදුකරන බව පෙනී යන අතර, පරිශ්‍රයෙන් සොයා ගන්නා ලද පුද්ගලයන්ගේ මරණ සම්බන්ධයෙන් වගඋත්තර දායකත්වය සහතික කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගේ ශක්‍යතාව සහ අභිලාශය සම්බන්ධයෙන් හිඩැසක් පවතී.” ය යන්න සිය ප්‍රධානත ම නිරීක්ෂණය ලෙස ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සඳහන් කරයි.

මානව හිමිකම් කොමිසමේ නිර්දේශ මොනවාද?

වාර්තාව අවසානයේ රාජ්‍ය බලධාරීන්ට මානව හිමිකම් කොමිසම කර ඇති නිර්දේශ මෙසේය:

අධිකරණ අමාත්‍ය වෙත:

1. නීතිඥවරුන් සහ සිවිල් සමාජ නියෝජිතයින් ඇතුළු අදාළ සියලුම විශේෂඥයින් සමඟ සමීප සාකච්ඡා පවත්වමින්, සමූහ මිනී වළවල් ඇති ස්ථාන සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් ගොඩනැගිය හැකි සහ එය නිලවශයෙන් යොදාගත හැකි ක්‍රියාවලියක් ආරම්භ කරන්න.

විමර්ශනයේ ප්‍රගතිය පිළිබඳව අදාළ පාර්ශවකරුවන් දැනුවත් කර තැබීම සඳහා නිතිපතා නිල යාවත්කාලීන කිරීම් නිකුත් කිරීමේ වගකීම ද එම ක්‍රියාපටිපාටියට ඇතුලත් විය යුතුය.

2. ප්‍රමාදයක් නොමැතිව සම්පත්වලට ප්‍රවේශ වීම තහවුරු කිරීම සඳහා අයවැය ඉල්ලීම්, අරමුදල් වෙන්කිරීම් සහ ගෙවීම් කටයුතු ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට සහ චෙම්මනි හි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනයට සම්බන්ධ අතුරුදහන් වූවන් පිලිබඳ කාර්යාලය සහ සියලුම රාජ්‍ය නිලධාරීන් සමග සමීපව කටයුතු කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශයේ කේන්ද්‍රීය නිලධාරියෙක් පත් කරන්න.

3. අදාළ ප්‍රදේශයේ තවත් මිනිස් අවශේෂ ඇත්දැයි වඩාත් පුළුල් ලෙස ඇගයීම සඳහා සමූහ මිනී වළ ඇති ස්ථානයේ මෙන් ම ඒ අවට ද පුළුල් ප්‍රදේශයක් පරීක්ෂා කිරීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් පොළව විනිවිද යන රේඩාර් (GPR) උපකරණ භාවිතය සඳහා අවශ්‍ය සම්පත් ලබා දීමට කඩිනම් පියවර ගන්න.

4. පුරාවිද්‍යා පර්යේෂණ කණ්ඩායම් වැනි ප්‍රමුඛ මානව සම්පත් ලබාගැනීමේදී සහ එවැනි සම්පත් වෙන් කිරීමේදී චෙම්මනි හි විමර්ශනය සම්පූර්ණ කිරීමට ප්‍රමුඛතාවය ලබා දීමට පියවර ගන්න. සමූහ මිනී වළවල් කිහිපයක් ආශ්‍රිතව කැණීම් කටයුතු කිරීමට සහ (වළදමා ඇති දෑ) ගොඩගැනීමට අවශ්‍ය විටක සහාය වීමට හැකි පුරාවිද්‍යා විශේෂඥයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ගොඩනගන්න.

5. චෙම්මනි හි සමූහ මිනීවළෙන් සොයා ගත් මිනිස් අවශේෂවලින් ලබා ගත් DNA සාම්පල විශ්වසනීයව සහ ස්වාධීනව විශ්ලේෂණය කිරීම සඳහා අදාළ විශේෂඥ්‍යතාව සහ තාක්ෂණික පහසුකම් විදේශයන්ගෙන් ද ඇතුළුව ලබාගන්න.

6. අතුරුදන් වූ පුද්ගලයින්ගේ පවුලේ සාමාජිකයින්ගේ DNA සාම්පල ස්වේච්ඡාවෙන් ලබාගෙන අනාගත සංසන්දනය කිරීමේ කටයුතු සඳහා ආරක්ෂිතව ගබඩා කළ හැකි ‘DNA බැංකුවක්’ ඇති කිරීමට පියවර ගන්න.

7. චෙම්මනි හි සමූහ මිනීවළෙන් සොයාගත් මිනිස් අවශේෂ විශ්වසනීයව සහ ස්වාධීනව කාල නිර්ණය කිරීමේ කටයුතු සඳහා, විශේෂයෙන්ම 14C කාබන් කාලනිර්ණ ක්‍රමය භාවිතා කිරීමට, විදේශයන්ගෙන් අදාළ විශේෂඥතාව සහ තාක්ෂණික පහසුකම් ලබාගන්න.

8. සමූහ මිනී වළවල් පිළිබඳව ශ්‍රී ලංකාවේ සිදුවන අනෙකුත් සියලු ම විමර්ශන සම්බන්ධයෙන් ද ඉහත සඳහන් නිර්දේශ ක්‍රියාත්මක කිරීමට පියවර ගන්න.

9. වත්මන් උගත් මහේස්ත්‍රාත්වරයාට උසස්වීමක් ලැබුණහොත්, චෙම්මනි හි සමූහ මිනීවළ සම්බන්ධ වර්තමාන විමර්ශනයට අදාළව අවශ්‍ය සියලුම සහාය ඔහුගේ අනුප්‍රාප්තිකයාට ලැබීම සහතික කරන්න.

10. ආරක්ෂක හමුදා සාමාජිකයින් හෝ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් විසින් සිදු කළා යැයි චෝදනා එල්ල වී ඇති බලහත්කාරයෙන් සිදුකළ අතුරුදහන් කිරීම් සහ නීති විරෝධී ඝාතන ඇතුළු සිදුවීම් විමර්ශනය කිරීමට සහ වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පුළුල් බලතල සහිත ස්ථිර, ස්වාධීන “රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකර ඇති බරපතල අපරාධ විමර්ශනය කිරීම සහ නඩු පැවරීම සඳහා වන කාර්යාලයක්” පිහිටුවීමට පියවර ගන්න. යෝජිත නව කාර්යාලයේ ස්වභාවය සහ කටයුතු පිළිබඳ සවිස්තරාත්මක සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සූදානම්ව සිටී.

පොලිස්පති වෙත:

11. දැනට ක්‍රියාත්මක ඕනෑම විමර්ශනයක් අතරතුර දී අදාළ නොවන සහ එදිරිවාදී ප්‍රශ්න කිරීම් නොකිරීම ද ඇතුළුව, ඕනෑම රාජ්‍ය නිලධාරියකු හෝ අතුරුදන් වූ පුද්ගලයන්ගේ පවුලේ සාමාජිකයන් බිය ගැන්වීමෙන් වළකින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් නිකුත් කරන්න.

12. අ. විමර්ශන පවත්වන විට (එනම්, ප්‍රකාශයක් ලබා දීමට පුද්ගලයෙකු කැඳවන හේතුව එම පුද්ගලයාට පැහැදිලිව දැනුම් දීම සඳහා) 2025 ජූලි මස 2 දිනැති පොලිස්පති විසින් නිකුත් කළ RTM 101/CRTM 61 චක්‍රලේඛයට අනුවම කටයුතු කරන ලෙසත්,

ආ. නිශ්චිත වරදක් සම්බන්ධයෙන් සාධාරණ සැකයක් පවතින පැහැදිලි අවස්ථාවන්හි දී හැර,චෙම්මනි හි සමූහ මිනීවළ පිළිබඳ විමර්ශනය ආවරණය කරන මාධ්‍යවේදීන් කැඳවීමට විමර්ශන බලතල අනිසි ලෙස භාවිතා කිරීමෙන් වළකින ලෙසත් ත්‍රස්ත මර්දන විමර්ශන කොට්ටාසය වෙත උපදෙස් නිකුත් කරන්න.

ආරක්ෂක අමාත්‍ය සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාපතිට:

13. ඕනෑම රාජ්‍ය නිලධාරියෙකු, සිවිල් සමාජ නියෝජිතයකු, හෝ අතුරුදන් වූ පුද්ගලයකුගේ පවුලේ සාමාජිකයකු සම්බන්ධ කර ගැනීම ද ඇතුළුව, චෙම්මනි හි සමූහ මිනීවළ සම්බන්ධයෙන් සිදුවන විමර්ශනවලට ඕනෑම ආකාරයකින් සම්බන්ධ වීමෙන් වැළකී සිටින ලෙස ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිලධාරීන්ට පැහැදිලි නියෝග නිකුත් කරන්න.

උසස් අධ්‍යාපන අමාත්‍ය වෙත:

14. වෝහාරික මානව විද්‍යාව පිළිබඳ විශේෂඥතාවක් ලබා ගන්නා වෛද්‍ය සිසුන්ට අදාළ වර්තමාන පුහුණු අවශ්‍යතා සමාලෝචනය කිරීමට පියවර ගන්න. එසේම මෙම විෂයට අදාළ විදේශ පුහුණු කාලය රාජ්‍ය අරමුදල් සහිතව වසරකට පමණක් සීමා කිරීම සම්බන්ධයෙන් සලකා බලන්න.

15. විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වෝහාරික පුරාවිද්‍යාව පිළිබඳ දේශීය විශේෂඥතාව දිරිගැන්වීම සහ වර්ධනය කිරීම සඳහා සැලැස්මක් සකස් කිරීම.

මුදල් අමාත්‍ය වෙත:

16. සායනික ජාන විද්‍යා ඒකකයක් ඇති කිරීම සඳහා යාපනය විශ්වවිද්‍යාලයට පරිත්‍යාග කර ඇති අත්‍යවශ්‍ය රසායනාගාර උපකරණ නිදහස් කිරීම සඳහා වැට් බද්දෙන් නිදහස් කිරීමේ නිවේදනයක් ශ්‍රී ලංකා රේගුවට නිකුත් කරන ලෙස දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම සලකා බැලීම.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

රිය අනතුරු වළක්වා ගන්න අවුරුදු ගානක් තිස්සේ අපි කරපු යෝජනා මේ ආණ්ඩුවටත් ඉදිරිපත් කළා … ඔවුන් ඇහුවෙත් නෑ…. ජනාධිපති තුමනි… අපි මේ කියන්නේ මොනවද කියලා දැන්වත් අහන්න…

Next Post

ගතවුනේ පැය 12යි… වෙඩි තැබීම් 04යි… එක් අයෙක් මරුට… තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ…

Related Posts

පුවත්

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026
පුවත්

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026
පුවත්

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

ජූලි 22, 2026

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…

ජූලි 22, 2026

අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

ජූලි 22, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පොලිස් වෙස්ගෙන රුපියල් කෝටි 2ක් මංකොල්ල කෑ හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුතා රඳවා තබාගෙන ප්‍රශ්න කරන්න නියෝග!
  • ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ වංචා රැසක් CID සහ අල්ලස් කොමිසමට! කෝප් කමිටුව තීරණය කරයි…
  • අධිකරණ ඇමැතිට එරෙහි විශ්වාසභංගය සිකුරාදා විවාදයට ගැනීමට තීරණය වෙයි – විපක්ෂයෙන් පසුබෑමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.