අසේල කුරුළුවංශ –
නියෝජ්ය පොලිස්පතිවරු වැනි උසස් පොලිස් නිලධාරීන්ගේ නිල රථයක් යැයි හැගෙන ආකාරයෙන්ම හැඩගන්වන ලද බව පැවසෙන නවීන ජීප් රථයක් මහනුවර මූලස්ථාන පොලිසියේ රථ වාහන අංශය මගින් සැක මත අත් අඩංගුවට ගෙන තිබේ.
මහනුවර මූලස්ථාන පොලිසියට ලද තොරතුරකට අනුව ඊයේ (03) දින පස්වරුවේ මෙම වාහනය අත් අඩංගුවට ගෙන ඇති අතර එම අවස්ථාවේ වාහනය තුළ කළු ඇඳුම් ඇඳ ගත් පුද්ගලයන් දෙදෙනෙක් සිටි බවද පොලිසිය භාවිතා කරන ආකාරයේ ගමන් කථන දෙකක්ද වාහනය තුළ තිබූ බවත් පොලිසිය පවසයි.
පොලිස් නිල ජිප් රථයක ආකාරයෙන් සකස් කොට ඇති බව සඳහන් මෙම වාහනයේ ඉදිරිපස වීදුරුව හැර අනෙකුත් වීදුරු සියල්ල සම්පූර්ණයෙන් අඳුරු කොට ඇති බව පොලිසිය සඳහන් කරයි.
අත්අඩංගුවට පත් වාහනය නිතරම මහනුවර ප්‍රදේශයේ මාර්ගවල ධාවනය කෙරෙන බවත් එම අවස්ථාවල රථ වාහන හා මාර්ග රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන් මෙම වාහනයේ උසස් පොලිස් නිලධාරියෙකු ගමන් ගන්නේ යැයි සිතා වාහනයට ආචාර කරන බවත් මහනුවර පොලීසියේ නිලධාරියකු සඳහන් කළේය.
මෙම ජීප් රථය එකලස් කරන ලද්දක්ද වර්ණ වෙනස් කළ එකක්ද කුමන ආකාරයේ කටයුතු සඳහා භාවිතා කළේද යන්න පිළිබඳව මහනුවර මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වන අතර මේ සම්බන්ධයෙන් මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුවේ වාර්තාවක්ද කැඳවීමට නියමිත බව මූලස්ථාන පොලිසිය පවසයි.







