මන්නාරමේ ජනතාව, විපක්ෂ දේශපාලන පක්ෂ ඇතුළු සමාජ කණ්ඩායම් සමග සාකච්ඡා කර පිළියම් සොයා ගනිමින් වැඩ ආරම්භ කරන තෙක් මන්නාරමේ පිහිටුවීමට සැලසුම් කර ඇති මෙගා වොට් 20ක සුළං විදුලි බලාගාරයේ කටයුතු මාසයක කාලයකට අත් හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් තීරණය කළ බව විදුලි බල සහ බලශක්ති ඇමති කුමාර ජයකෝඩි පැවසුවේය.
ඇමතිවරයා මේ බව පැවසුවේ මන්නාරම සුළං විදුලි බලාගාරයේ කටයුතු තාවකාලිකව නවත්වා දැමීමට ගත් තීරණය සම්බන්ධව අද (15) පැවති මාධ්‍ය හමුවක දී කරුණු පැහැදිලි කරමිනි.
“කන්ස්ට්‍රක්ෂන් කරලා පවතින ව්‍යාපෘති දෙකක් තිබුණා. එකක් තමයි මෙගාවොට් 20ක බලාගාරය. ඒකේ ටර්බයින් 4ක් සවි කරනවා. ඒකේ මූලික පදනම් දාලා ඒකට අවශ්‍ය යන්ත්‍ර සැපයීමේ කටයුතු මේ දවස්වල සිදුවනවා. තවත් මෙගා වොට් 50ක බලාගාරයක් සඳහා ගිවිසුම්ගත වෙලා තියනවා. ඒකට ටර්බයින් 10ක් සවි කිරීමට නියමිතයි. ඒක ලබන මාසේ අන්තිමට ආරම්භ කිරීමට නියමිතයි.”
“ඊටත් අමතරව කලින් තිබුණා මෙගාවොට් 250ක ව්‍යාපෘතියක්. ඒක තිබුණෙ ඉන්දියාවේ අදානි සමාගමත් එක්ක. ඒකෙදි අදානි සමාගම ව්‍යපෘතියෙන් ඉවත් වුනා.”
“සමස්ථය ගත්තොත් මෙගාවොට් 1000කට ආසන්න ප්‍රමාණයක සුළං විදුලිය ජනනය කරගන්න හැකියාව අපට අනාගතයේ දී තියනවා. ”
“ඒ අතර ප්‍රදේශයේ ජනතාව යම් යම් විරෝධතාවයන් ප්‍රකාශ කරලා තියනවා එක් බලාගාරයක් සම්බන්ධව. මෙගා වොට් 20 බලාගාරයට අදාල භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ දී ප්‍රදේශවාසීන්ගෙන්, ක්‍රිස්තියානි පූජකවරුන්ගෙන් විපක්ෂයේ මන්ත්‍රී තුමන්ලාගෙන් ලැබුණ ප්‍රතිචාර අනුව ජනාධිපතිවරයා විසින් තීරණය කළා දැනට ක්‍රියාත්මකවන ව්‍යාපෘතිය සහ ක්‍රියාත්මක වීමට බලාපොරොත්තුවන ව්‍යාපෘතිය තව මාසයක් කල් දාලා හැම ක්ෂේත්රයක්ම ආවරණයවන පරිදි කමිටුවක් පත් කරන්න.”
“සියලු දෙනා එකතු වෙලා ජනතාවගේ ප්‍රශ්න ගැන විමසා බලලා ඒකට කරන්න පුලුවන් දේවල් සාකච්ඡා කරලා ඒක ක්‍රියාත්මක වීමත් සමගම මේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ තීරණයකට අපි පිවිසියා. ” ඇමතිවරයා කීවේය.







