-
අපව රවට්ටන්න…අපි රැවටෙන්නම්…. ලෝක බලවතුන් බොරු කියා රවට්ටන්න එපා… එහෙම කළොත්නම් වැඩේ බරපතල වෙයි… ගම්මන්පිල ජනපතිට කියයි!
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විසින් පසුගිය දා විවෘත කරන්නට යෙදුණ දඹුල්ලේ, උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාවේ සේවා එය විවෘත කළ දා සිට මාස 04ක් තිස්සේ තවමත් ආරම්භකර නැතිවා සේම රුපියල් අසූ හතර ලක්ෂ නව දහසක ( 84,09,000) විදුලි බිලක් නොගෙවා ඇති නිසා ගබඩාවේ විදුලිය ද විසන්ධි කර ඇති බව විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අද (15) රටට අනාවරණය කළහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මම්පිල, සංජීව එදිරිමාන්න, ප්‍රේමණාත් සී දොළවත්තත්, සුගීෂ්වර බණ්ඩාර, නිමල් පියතිස්ස, දඹුල්ල හිටපු නගරාධිපති ජාලිය ඕපාතත් ඇතුළු පිරිසක් දඹුල්ලට ගොස් මෙම ගබඩාවේ වසා දැමූ ගේට්ටුව විවෘත කරගෙන ගබඩා පරිශ්‍රයට ඇතුළු වී තිබිණි. ඒ කටයුත්තට ගබඩාවේ මුරකරු ද සම්බන්ධ කර ගැනීමට එම පිරිස කටයුතු කළහ.
මෙම ගබඩාව විවෘත කිරීම පසුගිය අප්‍රේල් මස 5 වෙනිදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ආරාධනයෙන් ලංකාවට පැමිණි ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි දුරස්ථ පාලකයක් උපයෝගී කරගනිමින් විවෘත කළේය. එහෙත් එය නාමික විවෘත කිරීමක් මිස එදා සිට අද දක්වා මාස හතරක් තිස්සේ ගබඩාවේ කිසිම ප්‍රායෝගික ක්‍රියාකාරකමක සිදුවී නැති බව මෙම විපක්ෂ කණ්ඩායම අනාවරණය කර ගත්තේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතාගේ යෝජනාවකට අනුව මීට වසර කිහිපයකට ඉහතදී ඉන්දියානු රජයේ ආධාර ඇතිව මෙම උෂ්ණත්ව පාලිත කෘෂිකර්ම ගබඩාව ඉදිකර තිබුණි.
එම අවස්ථාවේ දී මාධ්‍ය අමතමින් උදය ගම්මන්පිල ආණ්ඩුවට කීවේ ඕනෑම බොරුවක් කියා තමන් රැවට්ටන ලෙසත් මේ රටේ ජනතාව ලෙස තමන් රැවටීමට සූදානම් නමුත් ලෝක බලවතුන්ටත් බොරු කියා රවට්ටන්නට සූදානම් නොවන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවය.
හිටපු මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ මෝදි අග්‍රාමාත්‍යවරයා විසින් උෂ්ණත්ව පාලිත ගබඩාව විවෘත කළ බවට වූ සඳහන සහති සමරු ඵලයක පෙන්වමිනි.







