ගලෙන්බිඳුණුවැව ගැටලාව වැවෙන් ටී – 56 ජීව පතොරොම් 7118ක් සොයා ගත් බව පොලිස් විමර්ශන අංශ පවසයි.
ඊයේ (13) දිනයේ වැවට පැමිණි පුද්ගලයෙක් විසින් මුලින්ම මෙම ජීව උණ්ඩ දැක 118 හදිසි ඇමතුම් අංකයෙන් ඒ බව ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට දැනුම්වත් කිරීමෙන් අනතුරුව සිදුකරන ලද මෙහෙයුමක දී ඊයේ සවස් වනවිට ජීව පතොරොම් 5038ක් සොයාගෙන තිබිණි.
යළිත් අද දිනයේ ආරම්භ කළ මෙහෙයුමේ දී තවත් පතොරොම් 1965ක් සහ ආධාරක උණ්ඩ 115ක් සොයා ගැනීමට පොලිසියට හැකි වී තිබේ.
මීට අමතරව ටී -56 මැගසින් 11ක් සහ ඔයිල් කෑන් 05ක් ද මෙම මෙහෙයුමේදී පොලිසියට සොයාගෙන ඇත. මුළු පතොරොම් තොගයම පොලිස් භාරයට ගෙන ඉදිරි විමර්ශන අරඹා ඇත.
මුළු පතොරම් තොගයම පොලිස් භාරයට ගෙන ඇති අතර, දැනට වැඩිදුර පරීක්ෂණ සිදුවෙමින් පවතී.
මින් පෙර පසුගිය 23 වැනිදා ද ගලෙන්බිඳුණු වැවෙන් ජීව උණ්ඩ ප්රමාණයක් සොයා ගත්තේය. ඒ ගලෙන්බිඳුණුවැව හුරුළුවැවට දිය නෑමට පැමිණි තරුණයින් තිදෙනෙකුට තොටුපල ආසන්නයේ ජීව උණ්ඩ තුනක් හමුවීමෙන් පසු කළ විමර්ශනයකදී ය.
එහිදී ටී 56 ජීව උණ්ඩ 10ක්, එල්.එම්.ජී. වර්ගයේ ජීව උණ්ඩ 18ක්, අත් බෝම්බයක ගැලවී ඇති පින් එකක්, ටී 56 පතොරොම් ගැබක පතුලක කොටසක්, පතොරොම් පෙට්ටි ගැලවීමට යොදා ගන්නා යතුරක් ද එම ස්ථානයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.







