දිනසේන රතුගමගේ –
මන්නාරමේ සුළං විදුලි බලාගාර ඉදිකිරීමට අවශ්‍ය යන්ත්‍ර රැගත් වාහන පෙළක් ඊයේ (11) රාත්‍රී මන්නාරම නගරයට පැමිණීමත් සමගම ප්‍රදේශ වාසීන් විශාල පිරිසක් නගරයට එක්වී සිය විරෝධතාවය දක්වා සිටියහ.

මේ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් 200 කින් පමණ සමන්විත බල ඇණියක් නගරයට පැමිණ විරෝධතාකරුවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත.
මේ අවස්ථාවේදී සුළං බලාගාර ඉදිකිරීමට රැගෙන යන යන්ත්‍ර රැගත් වාහන වලට ඉදිරියට ගමන් කිරීමට ඉඩ නොතබා වැසියන් පිරිසක් මහා මාර්ගයේ නිදාගෙන මග අහුරා තිබිණි.
මන්නාරමේ සුළං විදුලි බලාගාර ඉදි කිරීමට එරෙහිව මුලු උතුරු පළාත පුරාම දැඩි විරෝධයක් එල්ල වෙමින් පවතීන අතර ජනතාව පෙන්වා දෙන්නේ එම බලාගාර ඉදි කිරීම නිසා උතුරේ ධීවරයින්ට මත්ස්‍ය සම්පත අහිමි වී යන බවය.
කෘෂිකාර්මික කටයුතු වලටද විශාල බාධාවක් මෙම සුළං බලාගාර නිසා ඇති වන බව පෙන්වා දෙන ප්‍රදේශවාසීන් ඒවායෙහි යන්ත්‍ර භ්‍රමණය වන ශබ්දයට පක්ෂීන් බියට පත්වීම නිසා මන්නාරමේ කුරුලු පාරාදීසයට විශාල බලපෑමක් එල්ල වන බවද ඔවුහු පෙන්වා දෙති.







