මනම්පිටිය නිමල් ජයරත්න-
කොළඹ – මඩකලපුව ප්රධාන මාර්ගයේ මින්නේරිය, බටුඔය පාලම අසලදී මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස්රථයක් ඉදිරියෙන් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් අද(12) අලුයම 3.30 ට පමණ සිදුවූ අනතුරකින් පුද්ගලයින් 28 දෙනෙකු තුවාල ලබා පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇති බව මින්නේරිය පොලිසිය කියයි.

ඔවුන්ගෙන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බවද පොළොන්නරුව මහ රෝහලේ ප්රකාශකයෙකු අප කළ විමසීමකදී සඳහන් කළේය.
තුවාලකරුවන්ගෙන් 25 දෙනෙකු පොළොන්නරුව මහ රෝහලේ සහ තවත් තිදෙනෙකු හිඟුරක්ගොඩ ප්රාදේශීය රෝහලේ ප්රතිකාර ගන්නා බවද මින්නේරිය පොලිසිය පවසයි.
මෙම අනතුරෙන් ටිපර් රථය බටුඔය පාලමෙන් ප්රපාතයට පෙරළී ඇත.
ටිපර් රථයේ රියැදුරු ටිපර් රථය තුළ සිරවී සිටියදී ප්රදේශවාසීන් විසින් දැඩි පරිශ්රමයක් යොදා බේරාගෙන පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ.







