වයස අවුරුදු 20න් පහළ ආසියානු සත් සාමාජික රග්බි ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා වයස අවුරුදු 20 න් පහළ රග්බි කණ්ඩායම විශිෂ්ට ආරම්භයක් සහිතවය. ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ පැවැත්වෙන තරගාවලිය ආරම්භයේ දීම ශ්‍රි ලංකා කණ්ඩායම තරගාවලිය කම්පනයට පත් කරන ජයග්‍රහණ දෙකක් ලබා ගත්තේය.
ශ්‍රී ලංකා කණ්ඩායම පිටියට ප්‍රවේශ වන්නේ ජාත්‍යාන්තර අත්දැකීම් ද සහිත දැනට මහනුවර රග්බි සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරන ඉසිපතන විද්‍යාල කණ්ඩායමේ හිටපු උප නායක ෂාහිඩ් සුම්රි ගේ නායකත්වෙයනි. උප නායක තරුණ ක්‍රීඩකයා වත්මන් රග්බි ලෝලී තරණ තරුණියන් අතර තාරුවක් වූ පසිඳු බණ්ඩාරය. පසිඳු පසුගිය අවුරුද්දේ ශාන්ත පීතර විද්‍යාලයීය රග්බි කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩා ලෝලීන් අතර මහත් ආකර්ශනයට පත් වූයේය. පසිඳු දැනටමත් ජාතික රග්බි කණ්ඩායම නියෝජනය කරමින් අත් දැකීම් ලැබූ තරුණයෙකි. පාසල් ක්‍රීඩා පිටිය උත්කර්ෂවත් කළ රුෂේන් බණ්ඩාරනායක, යෙහාන් බුලත්සිංහලගේ, ගයාන් පෙරේරා, මහතීර් රබන්, කලිඳු සිල්වා, ප්‍රනීත් සිල්වා, ෆාහාඩ් නසාර්, ඉසුරු විතානගේ, උදීෂ රත්නායක, දිනද වික්‍රමාරච්චි, ජනිදු විජේරත්න, අබ්දුල්ලා ෆයිසර්, ජනිත් මාරසිංහ යන තරුණයින්ගෙන් ශ්‍රී ලංකා සත් සාමාජික රග්බි සංචිතය සකස් වූයේය.
මෙම තෝරා ගැනීම සිදුවන්නේ දැඩි තේරීම් වට කිහිපයකින් පසුය. එය මොනතරම් සාර්ථක දැයි තරගය ආරම්භ කළ පළමු දිනයේ දීම ශ්‍රි ලංකා කණ්ඩායම පෙන්වා දී තිබිණි.
ඔවුන්ගේ පළමු තරගයේදී, ශ්‍රී ලංකාව හොංකොං කණ්ඩායම ලකුණු 24-19 ක් ලෙස පරාජය කළේය. එය තියුණු තරගයක් බව කිව යුතුව ඇත. වේගය, කුසලතා සහ ශක්තිමත් කණ්ඩායම් ක්‍රියාකාරිත්වය මේ තරුණයෝ ලෝකයට පෙන්වූහ. පන්දුව ඉක්මන් ලබා දීම්, කඩිසර පාද ක්‍රියාකාරිත්වය සහ ශක්තිමත් ආරක්ෂක ක්‍රීඩාව මගින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කර ගත්තේය. තරගය නිමා වන බව දන්වමින් විනිසුරුවරයා කරන අවසන් සන් කිරීම දක්වා ඔවුන්ගේ ප්‍රතිවාදීන් පීඩනයට ලක් කිරීමට ශ්‍රී ලංකා තරුණ රග්බි කණ්ඩායමට හැකි විය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟ පැවති ඔවුන්ගේ දෙවන තරගයේදී කණ්ඩායමේ ගම්‍යතාවය දිගටම පැවතුනි. තියුණු තරඟයකදී, ශ්‍රී ලංකාව එක්සත් අරාබි එමීර් රාජ්‍යය 26-24 ක් ලෙස පරාජය කළේය. අවසාන මොහොතේ උත්සාහක දිනුමකින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ රටේ ජයග්‍රහණයේ මුද්‍රාව තැබූහ.
මෙම අඛණ්ඩ ජයග්‍රහණ ඉදිරියට යන ශ්‍රී ලංකාව තරඟාවලියේ ශක්තිමත් ස්ථානයක ස්ථාන ගත කර ඇත. මේ ආරම්භය අවසන් තරඟයේ ස්ථානයක් සඳහා බලාපොරොත්තු ඇති තිබේ.
ඉදිරි තරග කිසිසේත්ම පහසු ඒවා නොවේ. ප්‍රවේශය ලබා ගත් සටන්කාමී ආකාරයෙන්ම අත් නොහරින ජවයකින් මේ තරගාවලිය අවසන් කරනු ඇතැයි රට අපේක්ෂා කරයි.







