හිටපු කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් අද (06) අත් අඩංගුවට ගෙන තිබේ.
පසුගිය අරගල සමයේදී සිදු වූ නිවාස හානි සඳහා ලබා ගත් වන්දි මුදල් වංචනිකව ලබා ගෙන ඇතැයි පැවසෙන චෝදනාවකට හිටපු රාජ්‍ය අමාත්‍යවරයා අත් අඩංගවට ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂමෙන් ලැබෙන ආරංචි මාර්ග වලින් පැවසේ.
මහවැලි අධිකාරියට අයත් සෙවනගල, කිරිඉබ්බන් වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවරසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ල ඇතුළු දේපොළ කිහිපයක් 2022.05.09 වන දින පැවති ජනතා අරගලයේ දී හානියට පත්ව ඇති බවත්, එම දේපොළ සඳහා වන්දි ගෙවීමේ දී එය ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය සතු දේපොළක් බවට හඳුනාගෙන අදාළ වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබිය දී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ සමහර රජයේ නිලධාරීන්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් කරමින් එම වන්දි ලබාගෙන ඇති බවත් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.
එමෙන්ම එම වන්දි ලබාගැනීමෙන් දූෂණය නැමති වරද සිදුකිරීම සහ කුමන්ත්‍රණය කිරීම මෙන්ම මෙම දේපොළ මහවැලි අධිකාරිය සතු ඉඩමක පැවති බැවින් මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපොළ විෂයෙහි සිදුකරනු ලබන වැදි පිළිබඳ 5(1) වගන්තිය යටතෙ සඬුවම් ලැබිය හැකි වරදක් සම්බන්ධයෙන් ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී තිබේ.
ශෂීන්ද්‍ර රාජපක්ෂ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරපිත් කිරීමට නියමිතය.
.







