නීත්‍යානුකූලව රට තුළට ගෙන්වා නැති සුඛෝපභෝගී ජිප් රථයක් ව්‍යාජ ලෙස ලියාපදිංචි කර අලෙවි කිරීමේ වරදට රක්ෂිත බන්ධනාගාරගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනාවන ධනුෂ්ක වීරක්කොඩි ලක්ෂ 20ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද මතුගම අධිකරණය නියෝග කළේය.
ඇප කරුවන් ලඟම ඥාතීන් විය යුතු බවට ද අධිකරණය නියෝග කළේය. නඩුව යළි සැප්තැම්බර් මස 08 වැනිදා කැඳවීමට නියමිතව තිබේ.
සිද්ධිය –
පොලිස්පතිවරයාට ලද තොරතුරක් මත වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් කරන ලද දීර්ඝ විමර්ශනයකින් අනතුරුව ව්‍යාජ දත්ත සහිතව ලියාපදිංචි කරන ලද සුඛෝපභෝගී වාහනයක් පසුගිය 19 වැනිදා මතුගම දී අත් අඩංගුවට ගන්නේය. වාහනය තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගත් විතානගේ පුත් රසික විතාන සන්තකයේ ය.
අදාළ ජීප් රථය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂා කිරීමේදී අනාවරණ වූයේ එය නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා ව්‍යාජ දත්ත ඉදිරිපත් කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති වාහනයක් බවය.
ෙඅත් අඩංගුවට ගත් රසික විතාන මතුගම පොලිසියට භාර දුන් පසු ඔහු ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ පියාගේ සමාගමක් නමින් ලබා ගත් මෙම රථය මිලදී ගන්නේ රෝහිත අබේගුණවර්ධනගේ දියණියවන රොෂෙල් අබේගුණවර්ධනගෙන් බවය.
ඒ අනුව විමර්ශන නිලධාරීන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඇය පදිංචිව සිටි නාගොඩ ප්‍රදේශයේ නිවසට යන විට ඇයත් ඇයගේ සැමියාත් අතුරුදහන්ව සිටියේය. ඒ අතර උසාවියට ඉදිරිපත් කළ රසික විතාන රක්ෂිත බන්ධනාගාරගත කළේය. සිද්ධිය සම්බන්ධව දීර්ඝ විස්තරයක් ජගත් විතාන මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ දී සිදුකළේය. ඔහුගේ පුත් රසික විතාන දැන් ඇප මත නිදහස් වී සිටී.
පසුගිය 24 වැනිදා මේ ගනුදෙනුව සම්බන්ධව අත් අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනගේ බෑනා වන ධනුෂ්ක වීරක්කොඩි මතුගම අධිකරණය වෙත පසුගිය 24 වැනිදා භාර විය.
අනතුරුව පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ධනුෂ්ක වීරක්කොඩි අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අගෝස්තු 1 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළේය.
මේ අතර පෙරේදා (30) සිද්ධිය සම්බන්ධව සොයමින් සිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණිය වූ රොෂෙල් අබේගුණවර්ධන වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකයට පැමිණ භාර වුනේය. පසුව ඇයව අත් අඩංගුවට ගත් එම ඒකකය පැය 09ක දීර්ඝ ප්‍රකාශයක් ලබා ගැනීමෙන් අනතුරුව මතුගම පොලිස් භාරයට පත් කළේය. ඊයේ මතුගම අධිකරණයට ඉදිරිපත් කළ රොෂෙල් අබේගුණවර්ධන ඇප මත නිදහස් වුනාය.







